Friday 27 January 2017

සාම්ප්‍රධායික​ දකුණේ ආහාර Traditional Down South Cuisine

                යකුන්ටත් බය නැති රුහුණේ ආහාර




 දකුණු ලක රුහුණු රටට මා තුල ඇත්තේ අපමණ බැඳීමකි. එක පසෙකින් ලොව සුන්දරම මුහුදු තීරයන්ගෙන්ද , අනෙක් පසින් ජෛව විවිධත්වයෙන්   අනුන  සිංහරාජ වනාන්තරයෙන්ද වටවුණු රුහුණු පුරවරය තවදුරටත් අලංකාර වුයේ ආගන්තුක සත්කාරයෙන් සහ   මුනිදස් කුමරතුඟු වැනි භාෂා පඬිවරුන් බිහි කල  ඔවුන්ටම ආවේනික වූ සුන්දර දකුණේ බසිනි.

රජවාසල කවටයා අන්දරේගේ   සිට ගජමන් නෝනා දක්වා සාහිත්‍යකරුවන්ද, මාටින් වික්‍රමසිංහ වැනි මෑත යුගයේ හෙළ සාහිත්‍ය  ලේඛකයින්ද රටට දායාද කල දකුණු ලක, ගැමුණු රජුට යුධ කිරීමට මග පෙන්වීමේ සිට  ත්‍රිවිධ කල්හිම රට එක්  සේසත් කිරීමට දායකත්වයක් දැරූ  දේශ මාමක විරයින්ගේද නිජ භූමියකි.

වැවුරු කන්නල- වෙහෙරහේන වැනි ඔවුන්ටම ආවේනික සිත්තරුන් සහ මුර්ති ශිල්පින්ගෙන් පෝෂණය වූ දකුණේ කලාව වඩා ඔප්  නැංවුණේ සාම්ප්‍රධායික පහත රට යක් නැටුම්, බෙර වාදන  සහ බලි තොවිල් කලාවෙනි. යක්කුන්ට බය නොවී ඔවුන් නම්මවා වැඩ ගැනීමට සමත් වූ දකුණේ ජනතාව නිසාමදෝ අන් පළාත් වලදී  මෙන් සැර යයි සම්මත ආහාරයට බය වුනේද නැත. 



බලමාලු සමඟ දෙල් වුව, දැල්ලෝ ,ඉස්සෝ සමඟ අච්චාරු එක් කරන්නටත් බිය නොවූ දකුණේ ආහාරය තරම් කටට සැර මිරිස් බහුල නමුත් රසයෙන් කිසිවකට සම කල නොහැකි ආහාර දකුණේදී හැර ලොව  කොතනකදී වත් මා රසබලා නැත.. යකුන් නම්මන්නාක් සේ එම ආහාර නම්මාගෙන සැර මකා ගුණ පමණක් ගන්නට ඔවුන් තුල තිබු  සියුම් ආහාර තාක්ෂණයට පින් සිදු වන්නටය.


 මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දකුණටම  සුවිශේෂ වූ ආහාර  සහ ආහාරයේ සැර මකන්නට ඔවුන් යොදා ගත්  සියුම් තාක්ෂනය පිලිබඳ කෙටි සටහනකි.


රතු කැකුළු බත

රතු කැකුළු බත දකුණටම ආවේනික ආහාරයක්. පොදුවේ හැම කෙනෙකුම දන්නේ මේ බතේ පිෂ්ඨයට අමතරව විටමින් බි අඩංගු බව. අදවන විට සාමාන්‍ය රතු කැකුළු බත බවට පරිවර්තනය වී ඇතත්  පෞරාණික රුහුණේ  කැකුළු බත ලෙස හඳුන්වා ඇත්තේ 
රතු මානික්කම් නැමැති දේශීය සහල් වර්ගය



රතු
කැකුළු සහල් නිවුඩ්ඩේ  ගුණ අති විශාල ප්‍රමාණයක් ඇතත් දකුණේ ආහාරයේදී ඉස්මතුවී පෙනෙන්නේ මේ සහලේ ඇති ආසාත්මිකතා වලකන විශේෂ ගුණාංගයයි

තුන් වේලටම බත් කෑ දකුණේ මිනිසුන්ට සමඟ මොන සැර කෑමක් ඇඟට වැටුනත් රුහුණු රට උපුල්වන් දෙවි  පිහිටෙන් වගේ වගක් නොදැනුනේ ඔන්න ඔහොමයි.

කෑම  මේසයට යැවෙන  පොල් පලගාන

ආගන්තුක සත්කාරයට පරසිඳු දකුණේ ගෙදරක බත් මේසයේ නොවරදින පොල් පලඟාන  ගැන නොකිය කොහොමෙයි? හත් අට වෑන්ජනයක් තිබුනත් කිරි සුදුවට එවෙලේ ගෑ පොල් නොතිබුනොත් එය නම් උගුරෙන්  පහලට බත් නොගිලෙන
ගැටලුවකි

පොල්  අස්වැන්නෙන් අඩු පාඩුවක්  නැති රුහුණු රටේ මිනිසුන් තුල අමු පොලේ ඇති විෂ නැසීමේ, භාශ්මියකරණයේ  හැකියාව ගැන ඇත්තේ අචල විශ්වාසයක්..බලමාලු ඇඹුල සමඟ අමු පොල් කැකුළු බතට..ආයි මක්කටෙයි වෙන මොනවත්?

ජාඩි හොද්ද

රුහුණු රටේ වෙරලබඩට ආවේනික ආහාරයක් ජාඩි හොද්ද..ජාඩි දමන්න ගන්නෙත් අන් පලාත්වල බොහෝ විෂ යයි සම්මත කුම්බලා, හුරුල්ලෝඅලගොඩු පැටව් වගේ මාළු වර්ග.


ජාඩි දැමීමේ මුලික සිද්ධාන්තය කරදියෙන් පමණක්  සෝදා ලුණු කැට සහ ගොරකා මත අතුරා මාසයක් හමාරක්   වසා තැබීම

ධුලකහරණයට, ආසාත්මිකතා වැලක්වීමට සහ බැක්ටීරියා, දිලිර විනාශ කිරීමට ගොරකා වල ඇති හැකියාව විශ්මිත බවයි අද වෙනවිට පැවසෙන්නේ.. ඉතින් මේ ගොරකා වලට පින් සිදු වෙන්නට විස නැතිව හැදෙන ජාඩි කරවල තව දුරටත් විස නැසෙනවා පොල් කිරෙන් ඉව්වාම..ඉතිරි අඩුපාඩු මැකෙන්න පලඟානෙන් පොල් ටිකක් බෙදා ගමු..

විජහට පොලක් ඔයල ගෙනෙන් හිච්චි කෙල්ලේ ජාඩි හොද්දට කොස් එක්ක කන්න..

දෙහි ආනම:

මේක නම් හරිම අපූරු ආහාරයක්. ඉදුණු දෙහි කුඩා කැබලි කපා ඔවුන්ටම ආවේනික තෙම්පරාදුවක් සමඟ මිටිකිරි ඩිංගක් සමඟ රස අනුව සිනි ඩිංගක් දමා හිදෙන්නට පිසෙන මේ දෙහි මාළුව කෑම රුචිය වඩවන දිව්‍ය රස ඇති ව්යංජනයක්..ඕනෑම ආහාරයක් සමඟ බතට  ගැලපෙනවා..දෙහි වෙනුවට ඉදුණු හීන් නාරං යොදා ගන්නත් පුළුවන්.

දෙහි ආනම ඇත්නම් බල මාළු ඇඹුල් තියල් කන්න ඔයැයිතු මක්කට බය වෙනවද ? ගැට කාලෙම ඔලුව වටේ තුන් වංගියක් කරකොල ගිරෙන් කපල ගත්තාම යක්කු පෙරේතයොත් බය වෙන දෙහි, හොදට පැහුනම  බය වෙයිද හට්ටියේ ඉන්න මැරිච්ච බල මාළු කූරියට? 

රුහුණු අච්චාරු:

අච්චාරු නම් රට පුරාම ඕන පදම්..නමුත් රුහුණු අච්චාරුව..කෑ  කෙනෙක් නැවත  වෙන අච්චාරු නොකන වෙනස්කම් ගොඩයි.

පුංචි රතුලූනු, ගස්ලබු, අමුමිරිස්/කොච්චි සමඟ විශේෂයෙන් බැදපු හාල් මැස්සන් එකතුවෙන මේ අච්චාරුවේ අබ විනාකිරි වල විස මැකෙන්නේ අලුත කපාගත් මුරුංගා  පොත්තකින්


සැර ඩිංගක් තිබුනත් කෑමට ගන්නේ පොල් එක්කනේ..සියලු දෝෂ නිවාරණයි..




හාල් පොල් බැඳි මාළු හොද්ද:

මාළු හොද්දට වැඩියෙන් ප්‍රසිද්ධ කොළඹ මිගමු පළාත්. නමුත් දකුණේ බල මාළු හොද්ද හැදෙන්නේ අපුරු ක්‍රමයකට..ඒ තමා පොල් කබලේ බැද අමුමිරිස්, වියලි මිරිස්, ගොරකා, කරපිංචා සමඟ මුරුංගා පොත්තක් අඹරාගෙන. 

මුරුංගා පොත්තේ ඇති විස නැසීමේ බලේ ගොරකා, කරපිංචා සමඟ එක්  වුනාම ඩබල් ට්‍රිබල් වෙනවා. මාතර දැල්ලෝ කියන ලොව රසවත්ම දැල්ලා පිසෙන්නෙත් මේ ආකාරයටමයි.

  කැකුළු බතට රුහුණු මාළු හොදි සහ අමු පොල්.....ලොව වෙන කිසි තැනෙක නැති රස ගුලාව...

ඇඹුල් තියල් :

අනෙක් පලාත්වල මිනිසුන් බය කරන බල මාලුවෙන් සෑදෙන ඇඹුල් තියල් වල සිධ්ධාන්තයත් පෙර කි ගොරක සාස්තරේම තමා..ඊට අමතරව ඇඹුල් තියලේ ඇති ගම්මිරිස්, කරපිංචා යන සුසන්යෝගයත් ඕනෑම විසක් නැති කරන අපූරු ඖෂධ..

බල මාළුවාගේ ගණන් බස්සන්නේ ඕන් ඔහොමයි......

දෙවෙනි පාරටත් එහෙනම් බෙදා ගමු කැකුළු බත්, පොල් සම්බෝල සමඟ ඇඹුල්තියල්..ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ මෙහෙම රසක් ..


සුනු සාල් බත්:

උදේ කෑම වේලට රුහුණේ ගොවි ගෙවල් වල නොවරදින ආහාරයක්..සහල් කෙටීමෙන් ඉතිරිවන කුස්සියේ මුල්ලක ගබඩා වෙන කැකුළු සුනු සහල් බත ඉදිගෙන එන විට ඔයාගත් අමු පොලක් -දෙකක්  අවශ්‍ය පමණ  කලවම් කර ඉදෙන මේ බත ආහාරයට ගන්නේ රතුළූණු, දෙහි, උම්බලකඩ  දැමු කට්ට සම්බෝලයක් සමඟ

ගානට තෙතමනය රැදෙන මේ බතට උණු උණුවේ හොදි අවශ්‍ය වන්නේ නැහැ.. රස බැලුවෝ  රස දනිති..

ආයේ නොදොඩා  මොකෑ  හිච්චි උන්ටත් බය නැතිව පිහ දෙන්න ඇහැකි බත....මද්දහනේ වෙනකන් බඩ ගෙඩිය පුරෝලා, පොල් නිසා දවල් බතට පිහෙන දැල්ලෝ, දෙල් වලට උදැහැනැක්කෙම ලේස්ති වෙලා..

උදේ කෑමට හීල් බත් කිරි හොදි සමඟ රතු ළුණු සම්බෝලය:

 තුන් වේලට බත් බුදින රුහුණු රටේ උදේ ආහාරයට බත  පිළියෙළ වන තවත් විධියක් මේ..කැකුළු බතට කිරි හොද්ද සමඟ කට්ට සම්බෝලය..දවස පුරා සිත ගත ප්‍රබෝදයෙන් තබන ආහාර රුචිය වඩන අපූරු සුසංයෝගයක්.

උදේට කන කිරි හොද්දයි, පදමට දෙහි වැටිච්ච රතු ළූනුයි  මදෑ දවස පුරා කන කෑමේ විස නැසෙන්න..



අමු ගස්ලබු ව්‍යංජනය:

වෙනත් පළාත් වල නොදකින රුහුණේ නිතර බහුල ව්‍යංජනයක් පොල් හාල් ඇඹරු  අමු ගස්ලබු

අමු ගස්ලබු වල ඇති විෂ නැසීමේ ගුණය අනෙක් ආහාර වල ඇති සැර මකනවා පමණක් නොවේ. එය ඇඹුල්තියල් සහ කැකුළු බතට  අපූරු රස එකතුවක්.


මි කිරි:

අතුරුපසට මි කිරි නැතිව රුහුණු කෑම වේල  සම්පුර්ණ වෙන්නේ නැහැ..ශරීරය සිසිස්ල් කර විස නසා භාශ්මිකරණය කිරීමේ හැකියාව ඇති මි කිරි  ප්‍රධාන ආහාර වේලේ සියලුම විස නසා අඩු පාඩුවක් නැතිව ගුණ පමණක් සිරුරට ලබා දෙන්නට උදව් කරනවා..

බත් කෑමෙන් පසු අන්තිම ඩිංග මීකිරි සහ කිතුල් පැණි සමඟ ආහාරයට ගැනීමත් රුහුනටම ආවේනිකයි.. කිතුල් පැණි තවත් විස නසන ඖෂධයක් නොවේද?

ජූල් කිරි සමඟ බත්:

දිවුල් රටපුරා තිබුනත් ජුල් කිරි සමඟ බත් කෑම නම් රුහුණට ආවේනිකයි. අමු පොල් කිරි සහ දිවුලේ ඇති විෂ නැසීම ආහාරයේ ආසාත්මිකතා නසා සිරුර සිසිල් කිරීම අහන්නත් දෙයක්ද?





කළු දොදොල්:

දකුණේ ඕනෑම උත්සවයකට නොවරදින,ඔවුන්ටම ආවේනික කළු දොදොල් වෙන මොන පලාතෙන් කෑවත් රස නම් ලැබෙන්නේ නැහැ. මුලින් සඳහන් කල කැකුළු හාල් දියේ දමා කොටා  ලේස්ති කෙරෙන හාල් පිටි වලට පොල් දහ පාළොහක කිරි එක්කර  පැය  3-4ක් මද ගින්දරේ පත්ත ගාලා හදාගන්න දොදොල එතනට වෙලා බකං නිලන් ඉන්න මං  වගේ කෙනෙකුට නම් බර වැඩි ආහාරයක්..

නමුත් සකස් කරන පවුලේ උදවියට නම් සතියක් ජිම් ගියාට වඩා ඇඟ මහන්සි වෙලා, කෑමේ තහනම් කොයින්ද එතකොට? තෙල් බේරෙන දොදොලේ ඇති වාසියත් බර වැඩි කමම තමයි..අද වෙනකොට කියවෙන්නේ මෙවන් අවස්තාවක ආහාරයට පොල් කිරෙන් ඉබේම  එකතුවෙන "කන්‍යා පොල් තෙල"(Virgin Coconut Oil)  ශරීරයේ සියලු විස නැසෙන ඖෂධයක් බව..
 

බලමාලු බතට කෑවට..කහට කෝප්පයක් එක්ක අවුලක් නැතිව උගුරෙන් පහලට බහින දොදොලෙන් බල මාලුවෙ සැර මැකෙන්නේ ඔහොමලු..



විශේෂ ස්තුතිය: රුහුණු රටට මා කැන්දන් ගිය මගේ ආදරණිය ස්වාමියාට 


රේණුකා විමලරත්න : දුටු ගැමුණු රජුට යුධ වදින්නට මග පෙන්වූ රුහුණු රට සිට (අප-රැකු -ගම)
චායාරූප අන්තර්ජාලයෙනි.


4 comments:

  1. අන්තිමට නෙව තේරුනේ මක්කද මේ හැටි අගේ කියාල..කවුදෝ කැන්දං ගිහින් තියෙනෝ ඒ අහට...මක්ක උනත් කෑම මේසෙ ගැන හරියටම විස්තරේ දොඩල තියෙනෝ.. එකක් තියෙන්නෙ මාතර තියෙන්නෙ දිවුල් නෙවේ ජූල්...

    ReplyDelete
  2. අද උදේම ඔපීසියේ කට්ටිය එහා පැත්තේ ඉදන් කතා වෙනවා ඇහෙනවා, මාතර අය හරි කපටි කියල. ඔන්න එතකොටම තව එක්කෙනෙක් කියනවා, ගගෙන් එහා ඔක්කොම එකයි කියලත් !!!!!!!!! මම මේ පැත්තේ ඉන්නවා කියල අමතක වෙලා. ඉතින් මම ඇහුව, ඇයි මාතර අය මොකද කියල? ඔන්න ඉතින් මීයට පිම්බා වගේ උනා ඔෆිස් එක !!!! මට හිනාවේ පන නෑ .

    අනේ කොලබ ඉදන් මේක කියවන මට ගෙදර දුවන් යන්න හිතුනා . දකුණේ කෑම ගැන හරියටම කියල. අනික විශේෂම දේ තමයි උදේ ආහාරේ හරිම සරල, ඒ වගේම පෝෂ්‍යදායි වෙච්ච එක. දකුණේ වෙච්ච එක තරම් වෙන ආඩම්බරයක් නම් මට නැහැ !!!!!!!!!!!! මොකද අපි හරිම අවෙනිකයි.

    ReplyDelete
  3. කදිම විස්තරයක් .උත්සාහය අගයනවා

    ReplyDelete
  4. කියවනකොට දකිනකොට කටට කෙල උනනව.  මක්ක උනත් දකුණු පලාතෙ ගස්ලබු කියල ජාතියකුත් නැහැ.  පැපොල් නම් උයන්නෙ මේ කිව්ව විදියටයි. 

    ReplyDelete