Thursday 9 February 2017

කෙසෙල් කොලේ බත් කමු

      බත් පාර්සලයේ සිටින මාරයා පිටු දකිමු....


මතක හැටියට මේ සිදුවීම වුනේ 90 දශකයේ මුල් කාලේ.. දෙහිවල සත්තු වත්තේ කාගේත් ආදරය දිනු ගෝරිලි යුවලක් හිටියා..මින් එකෙක් හදිසියේම  මිය ගියා ..පශ්චාත් මරණ පරික්ෂණයෙන් සොයා ගත්තේ බොහොම කනගාටුදායි සිදුවීමක්.. ගෝරිල්ලාගේ  ආහාර මාර්ගය පාසැල් සිසුන්, කුඩා ළමයින් විසිකරන අයිස්ක්‍රීම් දවටන සහ වෙනත් පොලිතින් වලින් අවහිර වීම අසරණ සතාගේ මරණයට හේතු වෙලා තිබුනේ..


කාලාන්තරයක්
ප්ලාස්ටික් කකා හිටපු සිදාදියේ උන්දැලා මේ වෙනකොට කෙසෙල් කොලේට දක්වන උනන්දුව දැක ගන්න නම් කොළඹ වටේ රවුමක් දෙකක් යන්නම ඕනේ.. අලුත්ම ට්‍රෙන්ඩ් එක විධියටහැම හන්දියක් ගානෙම කෙසෙල් කොලේ බත් කඩ පටන් අරන් තියෙනවා.. පිරිසිඳුව  දෙනවානම් පරිසරයත් සෞක්‍යයත්  සුරැකෙන මේ ක්‍රම අනේ වාසනාවන්..

ප්ලාස්ටික් කෑවා කිව්වේ විහිලුවකට නම් නොවෙයි ආයිබෝන්..ඔය ලන්ච් ෂිට් කියන තුනී ප්ලාස්ටික් කොලේට උදේ පාන්දර කඩි  මුඩියේ දුම් දාන බත් එක බෙදුනාම රස්නෙට ප්ලාස්ටික සෑහෙන ප්‍රමාණයක් දියවී දියවී බත් එකට එකතු වෙලා දවල් කෑමට අපේ ඇත්තෝ කන්නේ හොඳ වහ ගුලියක් 

මහරගම පිළිකා රෝහලේ පෝලිම දිග වෙන්න ලන්ච් ෂිට් එකෙන් කෙරිච්ච දායකත්වය පහසුවෙන් අඩු තක්සේරුවට දාන්න බැහැ..ඊට පස්සේ ඉතින් ප්ලාස්ටික් වලින්ම හදාපු බෑග් එකක් බඩේ අලවලා  තමයි ගුදමාර්ගෙන් යවපුවා එකතු කර ගන්න වෙන්නෙත්...

තකහනියක් මේ සිදුවීම මතක් වුනේ පහුගිය සති අන්තේ දුර පලාතක ඉන්න  හිතවතුන් කීප දෙනෙක් බලන්න යන්න සුදානම් වෙද්දී. මේ හිතවතුන් අතර ලඟදි දරුවෙකු ලැබුණු අම්මා කෙනෙකුත් හිටියා. ඉතින් ඒ අයට අපේ විධියට කෑම  එකක් හදලා කෙසෙල් කොලේක බත් එකක් ඔතන් යන්නයි සුදානම් වුනේ..ලන්ඩනයෙන් පිට  ඉන්න අයට ඒ වගේ  තෑග්ගක් රත්තරන් වගේ  වටිනා නිසා.


අපේ රටේ  මුදලාලි  කෙනෙකුගේ ගැටයකට පින්සිද්ධ වෙන්න මේ බලාපොරොත්තුව විධියටම ඉෂ්ඨ කර ගන්න නම් ලැබුනේ නැහැ ලස්සනට කොලයක ඔතලා කෙසෙල් කොලයක් ලංකාවේ මුදලින් රුපියල් 200ක් පමණ මුදලකට මගේ අතට ලැබුනා..හත් ඉලව්වයි  කෑම ඔතන්න බලද්දී  එතන තිබ්බේ කෙසෙල් කොලෙකින් පහෙන් එකකටත් වඩා අඩු කුඩා කොටසක් විතරයි..අන්තිමේට බත බෙදුනේ  පෙට්ටියකට කියමුකෝ.. 

ගමේ ගොඩේ බයියෝ වෙච්චි අපිට නම් කෙසෙල් කොලේ  නැතිව කොහොමද? බත ඔතන් යන්න විතරක් නොවෙයි, කිරිබත තුනී කරන්න, කුරක්කන් රොටිය වඩන්න, කලාතුරකින් වතුර වැඩි වෙලා බෙරි වෙන බත තුනී කරන්න, අළුවා කපන්න, කමතට ගෙනියන බත් වට්ටිය වහන්න.. විතරක් යයි සාංඝික දානෙට දෙවියන්ගේ දානෙට කොයිදේටත්  නැතිවම බැරි කෙසෙල් කොලේ..


අම්මපා හැබෑට කෙසෙල් කොලේ ඇයි මේ තරම් වටින්නේ?




ප්‍රමාණයේ විශාලත්වය නිසා එදිනෙදා කාර්‍යයන් සඳහා ඇති පහසුවට අමතරව කෙසෙල් කොලයට ඇලෙන විශේෂම හේතුව එහි ඇති විස්තර කල නොහැකි සෞම් සුවඳ සහ එමගින් ආහාරයට එක්වන ප්‍රනීත රසය

කෙසෙල් කොලයේ ස්වභාවිකව ඊටම ආවේනික  ඉටි විශේෂයක්   තිබෙනවා. උණුසුමට ලක් කිරීමත් සමඟ ක්‍රියාත්මක වන මේ ඉටි වර්ගය නිසා තමයි ගින්නේ තවා ගත්  කෙසෙල් කොලය ඉරෙන්නේ නැතිව අපට අවශ්‍ය  ලෙස කැමති හැඩයකට නවා ගන්නට පුළුවන් වන්නේ

කෙසෙල් කොලයේ  දුම් දමන බත් සහ ව්යංජන එතූ විට ආහාරයේ උණුසුම නිසා මේ ක්‍රියාකාරිත්වය පැය  ගණනාවක් සිදු වීමෙන්  ඉටි වර්ගය ආහාරයට එකතු වෙනවා.. 

ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවක් ඇති මේ ඉටි වර්ගය නිසා ආහාරයේ රස සහ සුවඳ වැඩි වෙනවා වාගේම ආහාර නරක්  වීම ප්‍රමාද කිරීමකුත්  සිදු වෙනවා.

කෙසෙල් කොලෙන් සිදුවන වාසිය මෙපමණකින් නතර වෙන්නේ නැහැ.. අද වන විට සොයාගෙන ඇති ලෙසට කෙසෙල් කොලයේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය සිටින්නේ ''ග්‍රීන් ටි'' වලට වඩා බොහෝ ඉදිරියෙන්. ''Epigallocatechin gallate'' නමැති විශේෂිත  ප්‍රතිඔක්සිකාරක මානසික ආතතිය වැළක්වීමටත්, තද හිරු රැසින් පිලිස්සෙන සම  ප්‍රතිසංස්කරණය කිරීමටත් වාගේම ආහාර දිරවීමේ කාලය දිගු කිරීමෙන් ශරීරයේ බර අඩු කිරීමටත් දායක වෙනවා..

අනුව බලන විට කාර්යාලවල මානසික ආතතියෙන් වැඩ කරන, ගිනි අව්වේ දුවන  නෝනා මහත්වරුන්ට ආයුෂ දිගු කර ගැනීමට කෙසෙල් කොලේ බත් එකම ප්‍රමාණවත් නොවේද?


කෙසෙල් කොලයේ ඇති ඖෂධිය ගුණත් සුළු පටු කොට තකන්නට නම් බැහැ . කලකට පෙර ඔබ අප ආශාවෙන් නැරඹු ''වෙද හාමිනේ'' ටෙලි නාට්‍යයේ පිළිකා රෝගියා සුව කිරීමට ඖෂධ ගල්වා කෙසල් කොළයෙන් එතු රූප රාමුව මේ මොහොතේ මට සිහිවෙනවා..

විදේශිකයින් වෙනුවෙන් පැවැත්වෙන  ආයුර්වේද සුව ප්‍රතිකාර  ආයතන වල කෙසෙල් කොළ ශරීර එතුම (Banana Body Wrap) බෙහෙවින් ජනප්‍රියයි.

ආයුර්වේදයේදී වාගේම දේශීය වෙදකමේදීත් කෙසෙල් කොලය එහි ඇති සමට හිතකර බව යොදා ගනිමින් හිස්හොරි, පිළිස්සුම්, සමේ ආසාධන, සමේ පිළිකා රෝග  සහ ආසාත්මිකතා වලට ප්‍රතිකාර සඳහා අදටත් යොදා ගැනෙනවා..

විශේෂයෙන්ම දේශීය වෙදකමේදී කෙසෙල් කොලයේ ඇති ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ ගුණ යොදා ගනිමින් උණ  රෝගය, උගුරේ ආසාදන සුව කිරීම සහ කෙසෙල් කොළ යුෂ භාවිතයෙන් ශරීරය සහ ආහාරමාර්ගය ධුලකහරණය කිරීම සිදු වෙනවා.

අත් බෙහෙතක් ලෙස අමු කෙසෙල් කොළ පොල් තෙල්  පහනේ පුළුස්සා ලැබෙන අළු ආලේපයෙන් කුඹින් දෂ්ඨ කිරීම් , වැටීම් සිරීම් නිසා වන කුඩා තුවාල සුව කිරීමට   මගේ අත්තම්මා ඇතුළු වැඩිහිටියන් ඒ කාලේ දැන සිටියා .. 

ඕනෑම ගෙඩියක් තවන්නටත්, උළුක්කු තැලුම් වලට තෙල් ගලවන්නත් ඔවුන් යොදා ගත්තේ පොල් තෙල් පහනේ තැවු කෙසල් කොලයයි. .

ස්වභාවික ශාක සාරයෙන් පමණක් ලබා ගත හැකි  සමට හිතකර රසායනයක් වන 'Allantoin'  කෙසෙල් කොලයේ බහුලව පවතිනවා. මේ නිසා අද වනවිට රූප ලාවන්‍ය නිෂ්පාදකයින්ට කෙසෙල් කොලේ නැතිවම බැරි වටිනා දායාදයක් වෙලා.. 

සුරුපිනියන් බිහිකළ අතීතයේ, ශාකසාර ආලේපන අතුරන්නට කෙසෙල් කොලය භාවිතා කිරීම සහ මේ සොයා ගැනීම අතර සම්බන්ධතාවයක් නොතිබේ යයි මා නම් විශ්වාස කරන්නේ නැහැ.



ආහාරාමය සහ ඖෂධිය ප්‍රතිලාභ ඇරුණුකොට දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ  ද්‍රවිඩ ජනතාවට  ආගමික කටයුතු සඳහාද කෙසෙල් කොලය නැතිවම බැහැ. අදටත් පරිසරයට හිතකර කෙසෙල් කොලය මතම ආහාර පිළිගන්වන්නට ඔවුන් උනන්දු වෙනවා..


ලඟකදී යාපනයේ සංචාරය කර 'මලබාර්' හෝටලයෙන් රසබර තෝසේ කෑ අයෙක් නම් මා සමඟ එකඟ වනු නියතයි.


පොදුවේ ගත්  කල කෙසෙල් කොලයේ කාර්‍යාලයට  ගෙනයන  බත එතීමෙන් ඔබට ඉහතින් සඳහන් කල සියලුම සෞක්යමය  වාසි නොමිලේම ලබා ගැනීමට පුළුවන්..

නමුත් කෙසෙල් කොලෙන්  මේ වාසි  ලබා ගැනීමට නම් බත් පත උණුවෙන් එතිමටත් ස්වභාවික රසායන ක්‍රියා කිරීමට පැය  කිහිපයක් ලබාදිය යුතු බවත් අමතක කරන්නට එපා


ප්ලාස්ටික් ලන්ච් ෂිට් එක ඉවතට විසිකර නැවත කෙසෙල් කොලේ වෙත හැරෙමු...ගෙවත්තේ වැවෙන පාට පාට ක්‍රෝටන් වලට යොදවා ඇති ඉඩ කඩ කෙසෙල් පඳුරක් වනුවෙන් වෙන් කරන්නට කාලයයි මේ..

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්




10 comments:

  1. කෙහෙල් කොලේට බත් බෙදල දෙන තැන් තියනව, ඒව අර බත් ඔතල තියන එවයෙ තියන ගතිය නෑ

    ReplyDelete
    Replies
    1. එවෙලේ බෙදල දීමයි පිගානේ කෑමයි අතර වෙනසක් නැහැ.. රස්නෙන් බෙදලා පස්සේ කෑවොත් විතරයි ඒ රස සහ ගුණ එකතු වෙන්නේ.. නමුත් ප්ලාස්ටික් වලට වඩා පරිසරයට හරි ගුණ දායකයි..

      Delete
  2. ඔහේ දෙසියට හරි තියනවා මෙහේ නැ

    ReplyDelete
  3. ලන්ච් ශීට් එක පැත්තකට දාන්න ඕනේ කියල හිතට අදහසක් ඇති කලාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලන්ච් ෂිට් එක මේ වනතුරුත් වැඩ නේ???? O.O

      Delete
  4. කෙහෙල් කොලේ ඔතපු බත් කොච්චරවත් කාලා ඇති. එත් මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නා, අද තියෙන විධ්යාවට හසු නොවෙන අපේ ඇත්ත මුත්තලාගේ අපුර්ව දැනුම..තව කොයිතරම් ඇද්ද? ස්තුතියි බණ්ඩාර මහත්තයා

      Delete
  5. කෙහෙල් කොලේ බත් කෑම රස බව මිසක එහි ගුණ හා වෙනත් කරුණු බොහොමයක් දැනගත්තේ මේ ලිපියෙන්.
    වෙදකම්වල මෙන්ම දාන මාන වලදීත් ඉස්සර කෙසෙල් කොළ නැතිවම බැහැ. දමිල මිනිසුන් නම් රාජකීය වෘක්ෂයක් ලෙස තවමත් භාවිතා කරනවා.

    ReplyDelete
  6. තුනපහ වල රසය සහ සුවඳ වෙනස් නොවී තියා ගන්න පුළුවන් වේලුණු කෙසෙල් කොළ භාවිතයෙන්.

    ReplyDelete