Tuesday 6 September 2016

වෙරළු (Ceylon Olives / Elaeocarpus serratus)




මන් පුංචි සන්දියේ ගිය පොඩි ඉස්කෝලේ අපි ගියේ පයින්.. ගමන හරි පාරෙන් ගියොත් බොහොම දුරයි.. නමුත් රංචුව එකතුවෙලා තිස් අමුණු වෙල මැද්දෙන් නියර දිගේ, වක්කඩ උඩින් පැනලා ගිය කෙටි පාර තමයි අපේ කණ්ඩායම ප්රියකලේ. ඒකට තව හේතු ගණනාවක්ම තිබුනා, වක්කඩ අයිනේ සරුවට වැවිල තිබුන දිය කදුරු, වෙල් ආත්තා, එරබදු, ඇඹුල් පේර වැනි විවධ ගස් වලින් මේ පාර හෙවන වෙලා තිබීම වගේම මේ ගස් වලින් අපට ලැබුණු විවිධ පලතුරු වර්ග තමා අනෙක් හේතුව. කන්න දෙකකදී පමණක් වී වගා කෙරුණු කාලයේ කන්න දෙක අතරතුර වැටකොළු, පිපිඤ්ඤා, මෑ කරල් වගේ එළවලු වගා කරන මාමලාගෙන් අපට ලැබුණු ලපටි පිපිඤ්ඤා ගෙඩියක දෙකක රස බැලීම , වැසි රහිත කාලයට නියර දිගේ වෙනුවට වේගයෙන් ගලන වතුර පාර දිගේ උඩට ඇවිදගෙන ඒම , කුරුළු පිහාටු එකතු කිරීම  වැනි වෙනත්   රසවත් හේතූනුත් අතර නොතිබුනා නොවෙයි.

නියරෙන් එගොඩ වෙලා ඉස්කෝලෙට යන්න කලින් අපිට හමුවන පින් වත්ත ඊළඟ හේතුව..අඹ, ජම්බු, පැණි සියඹලා, නමිනම් , පේර , වෙරළු, ඇඹරල්ලා  වැනි පලතුරු පිරුණු අයිති කරුවෙකු නොසිටි මේ වත්ත කාලේ මේ පාරේ පාසැල් යන ළමුන්ගේ අනිවාර්ය ක්‍ෂේම භූමියක්. අද වගේ ගහ මරා ගැනීම් නොතිබුණු කාලයේ එක ගෙඩියක් ලැබුනත් බෙදා හදාගෙන කෑමේ ගුණය අපි කා අතරත් තිබුනා. එක  ගෙඩිය හත්දෙනා බෙදාගෙන කෑ කතාව අපේ කාලයේ වැඩිහිටියන් කුඩාවුන්ට කියාදුන් අනිවාර්ය කතාන්දරයක් වාගේම  ජිවිතයට එක්වුණු පාඩමක්. අද මන් ඔබ වෙතට ගෙන එන්නේ කතාවේ කියවෙන, අපි කුඩා කාලයේදී නම් ඇති පමණ බඩ පිරෙන්නට කෑ , දොලදුකට නැතිවම බැරි ඇඹුල..එනමුත් ගුණ පිරි වෙරළු ගෙඩිය ගැනයි.

වෙරළු කිව්වම අද කාලේ නම් තරම් ගණන් ගැනීමක් නැති ගොඩේ පලතුරු ගොඩටයි  ගැනෙන්නේ. වෙරළු දැක නැති දරුවනුත් අද නගරාශ්රිතව ඉන්නට පුළුවන්.. වත්තේ පිටියේ හැදෙන වෙරළු ගෙඩිය ගණන් නොගන්නා අපේ අම්මලා ගිනි ගානට මාස හය හතක්  පරණ, කල් තබා ගැනීමට රසායන වලින් නැහැවූ මිදී නම් ඔවුන්ගේ දරුවන්ට ගෙන එන බව අපි අසා තිබෙනවා. නිසි වටිනාකමක් අද වනතුරු නොලැබුණු මිදී ඇපල්  වලට ලන්වන්නටවත් බැරි තරම් ගුණ මේ කුඩා වෙරළු ගෙඩියේ ඇති බව ඔබ අසා තිබුනාද?




පලතුරකටත් වඩා ඖෂධයක් සහ එදිනෙදා ජීවිතයේදී අත්  බෙහෙතක් ලෙස වෙරළු ගසෙන් අත්තම්මා කල විවිධ ප්රතිකාරයි මේ මොහොතේ මට සිහිවෙන්නේ. ගැහැණු පිරිමි හෝ වයස සීමාවක් නැතිව කොයි කවුරුත් වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්රත්යක්ෂ ප්රතිකාරයක්. අද වාගේ වයිවාරන ශැම්පු වර්ග නොතිබුණු යුගයේ ඉස්හොරි වලට විවීධ ප්රතිකාර අත්තම්මාලා දැන සිටියා. ගොඩපර ගෙඩි දෙහි සහ උළුහාල් සමඟ තම්බා සාරය හිස්කබලේ ඇතිල්ලීම, පේර කොළ යුෂ ප්රතිකාරය  අතර වෙරළු කොළ යුෂ වලිනුත් අපූරුවට මේ රෝගය සුව වුනා. දිලිර එසේ නැතිනම් පුස් වර්ගයේ රෝගයක් වන ඉස්හොරි ඉක්මනින් පැතිරී යන අතර සුව කිරීම ඉතා අපහසුයි

සමාජයේදී අපහසුවට පත්වන, හිසකෙස් ගැලවී යාමට සහ උකුණන් බෝවීම වැඩිකරන මේ රෝගයට මෙතරම් පහසු සහ මුදලක් වැය  නොවන  ප්රතිකාර තිබියදී දහස් ගණන් ගෙවා කෘත්රිම රසායන අඩංගු ෂැම්පු වර්ග භාවිතය අප ලජ්ජාවට පත්විය යුතු කාරනාවක් ලෙසයි මා දකින්නේ. මාතෘකාවෙන් පිට ගියත් මෙතැනදී යම් දෙයක් මතක් කරන්නට වෙනවා. ඒ තමයි මේ සිංහල ප්‍රතිකාර කිරීමේදී අපේ ඇත්තෝ අසාධාරණ ලෙස බලාපොරොත්තුවන ක්ෂණික සුවය. බෝතල් ගණන් භාවිතා කර සුවයක් නැතත්  කිසිම නෝක්කාඩුවක් නොකියා නැවත නැවත ෂැම්පු  භාවිතා  කිරීමට පෙළඹෙන අපේ උදවිය මෙවැනි ප්රතිකාරයකදී  එක වරක් කරන ප්රතිකාරයකින් පසුව සුවය බලාපොරොත්තු වෙනවා. එක බෙහෙත් පෙත්තකින් ලෙඩේ සුව නොවනවා සේ මෙබඳු ප්රතිකාර නිතිපතා කාල සීමාවක් භාවිතා කිරීමෙන් මිස ප්රතිපල ලබා ගැනීමට නොහැකියි.

ගංවතුර කාලයට හෝ වැසි කාලයට මඩ කරියන්සේ දවස පුරා වතුරේ බහින පුංචි අපට දිනවල රාත්රියේ ඇතිවන අපහසු තාවයක් තමා යටිපතුලේ සහ ඇඟිලිකරු වල ඇතිවන අපහසුදායි කැසීම. මඩ දියේ ඇති දිලිර වර්ගයක් නිසා හටගත් මේ ආසාධනයත් වෙරළු කොළ යුෂ තැවරීමෙන් සුව කිරීමට එදා අත්තම්මා සමත් වුනා. එපමණක් නොවෙයි අද මෙන් බහුලව නොව එදා කලාතුරකින් කෙනෙකුට දකින්නට තිබුණු සමෙහි ඇතිවන එක්සිමා (eczema)  රෝග ප්රතිකාරයටත් සිංහල බෙහෙතේ වෙරළු කොළ භාවිතා කරනවා.

දොළ දුක් අම්මලාට බය සැක නැතිව කන්නට ඉඩ හරින ඇඹුල්  වර්ග අතර ලොකු ගෞරවයක් වෙරළු ගෙඩියට ලැබුනේ කාලයට කන ලොවි, අඹ ගැට වැනි වෙනත් ඇඹුල් වල ඇති අධික ආම්ලික ගතිය, ආහාර උඩට එන ගතිය  වෙනුවට ඇඹුල් වූවත් වෙරළු ගෙඩියේ ඇති අඩු ආම්ලිකතාවය නිසායි. අත්තම්මා නම් කිවේ උදෑසන වමනය අඩුකිරීමේ හැකියාවකුත් වෙරළු වල තිබෙනවා කියායි. ආහාර රුචිය අඩු කුඩාවුන්ට වෙරළු කෑමට දීමෙන් බඩ පිරෙන්න බත් ඩිංගක් කවා ගන්න පුළුවන් කියා ඒකාලේ කිව්වේ වෙරළු වල තිබුන ආහාර රුචිය වැඩි කිරීමේ අපූරු හැකියාව නිසා.

වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාව අපේ කාලේ නම් අහන්න වත් නොතිබුනේ එදා දරුවන්ට ඕනෑ පදමට කන්නට තිබු ගඩා ගෙඩි නිසා වන්නට පුළුවන්. ගොඩේ  පලතුරු ලෙස කියවෙන බොහෝ පලතුරු අතරේ දියවඩියා රෝගය වැලක්වීමේ හැකියාව අතර  වෙරළු ගෙඩිය සිටින්නේත් ඉදිරියෙන්. විටමින් සි, ලවන වර්ග ,යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්රතිශක්තිය එකතු කිරීමටත්, මල බද්ධය වැලක්විමටත් හේතු වෙනවා.

සිංහල වෙදකමේදී වෙරළු කොළ, ඇට , පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීමට යොදාගෙන ඇති නමුත් ඉන් මූලිකම තැනට පැමිණෙන්නේ සන්ධි ආබාධයි. සමේ රෝග, දිලිර ආසාධන , හිස් කබලේ ආසාධන, උකුණන් වඳ කිරීම , වේදනා නාශක, ප්රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්රතිකාර ලෙස යොදාගත් හිසකුඩිච්චි වලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගත් බව මා අත්තම්මාගෙන් අසා තිබෙනවා. මේ වනතුරුත් බටහිර පර්යේෂකයින්ගේ අවධානයට ලක් නොවුණු  වෙරළු සොයා මා කල සංචාරයේදී හමුවූ අතලොස්සක් වූ පර්යේෂණ වාර්තා ලියා ඇත්තෙත් ලාංකීය පර්යේෂකයින් කීපදෙනෙකුන් විසින් බවත් මේ මොහොතේ සතුටින් මතක් කලයුතුයි.

දකුණු ආසියානු භූගෝලීය සම්භවයක් ඇති වෙරළු ලංකාව සහ ඉන්දියාවට  අමතරව වෙනත් රටවල වැවෙන  බවක් සඳහන් වී  නැහැ. ඉංග්රීසි භාෂාවෙන් ''Ceylon Olives'' ලෙස හැඳින්වෙන මේ පලතුර නම වගේම සංස්කෘතියටත් බොහෝ ලංවූ බවක් දැනෙන්නට කාරනා බොහොමයක් තිබෙනවා. වෙරළු අයත් වන්නේ ''සිංහල  අවුරුදු කාලෙට පල දරන'' පලතුරු ලැයිස්තුව යටතටයි. අනුව සිංහල අවුරුද්ද සහ  වෙරළු අතර ළඟ සම්බන්දතාවයක් තිබෙනවා

මේ ලිපියේ මා මුලින් සඳහන් කල කතාව මෙන්ම  වෙරළු ගැන ලියවුනු නැලවිලි කවි සහ වෙනත් කවි ගීත අපේ පද් සාහිත්යයේ දකින්නට ලැබෙනවා.  සුනිල් එදිරිසිංහයන්ගේ වෙරළු ගෙඩිය දෙකට බෙදා දෙගුරුන්ටත් තබා කෑ අයිය මලෝ දෙදෙනාගේ ඉනිවැට හබයේ ගීතය මෙයට තවත් කදිම උදාහරණයක්. මේ මොහොතේ මට සිහිවූ එවන් නැලවිලි කවියක් මේ.

අතට වෙරළු - ඇහිඳ ගෙනේ
ඉනට පලා -නෙලා ගෙනේ
බරටම දර - කඩා ගෙනේ
එයි අම්මා - විගසකිනේ


ගුන මෙන්ම රස පිරි වෙරළු අපි කුඩා කාලයේ අහුරු පිටින්  ගිල දැමු ගඩා ගෙඩි  අතර නොවරදවා තිබුණු පළතුරක්. ගම පුරා ඇති වෙරළු ගස් වලට පොල් වෙරළු, ඇට වෙරළු, සියාතු සීයාගේ වත්තේ වෙරළු, කහට වෙරළු, තිත්ත වෙරළු, ඇඹුල් වෙරළු, සිනි වෙරළු  යනාදී විවිධ නම් දමා තිබුණු අපට  ඇස් වසා  ගෙන කටට ගන්නා වෙරළු ගෙඩිය අයිති ගහ කීමේ විශිෂ්ඨ හැකියාවකුත් තිබුනා. ගැට කාලේ පටන් ඉදීවැටෙන තුරු ඕනෑම අවස්තාවක ආහාරයට ගැනීමට හැකි වෙරළු මතක් වෙන විට අදටත් මගේ කටට කෙල උනනවා

ලුණු කුඩු සමඟ අමුවෙන් හෝ වේවා, තම්බා අච්චාරු ලෙස හෝ වේවා කොයි විධියෙන් ආහාරයට ගත්තත් ඉතා ප්රසන්න රසයක් ඇති අදටත් නිසි වටිනාකමක් නොලැබුණු මේ කුඩා පලතුරෙන් ඔබට ලබා ගත හැකි සෞක්යමය ප්රතිලාභ බොහෝ ඉහලයි. පිටරටින් ගෙන්වන විස රසායන වල ගිල්වූ මිදී ඇපල් නොව වත්ත පහල බිම වැටෙන වෙරළු ගෙඩියක් ඔබේ දරුවාට දෙන්නට ඔබේ ඇස් ඇරවන්නට කාලයයි මේ.


 රේණුකා විමලරත්න :ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්

(නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය හිමිවේ)

No comments:

Post a Comment