Tuesday 12 July 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 8 : සුදුළූණු

                අත්තම්මාගේ අත් බෙහෙත් 8


                              සුදුළූණු

බොහෝ දැනුම් තේරුම් ඇති අපේ අත්තම්මලාට කාලයේ බොරුවක් වංචාවක් කිරීම එතරම් පහසු දෙයක් නොවිය. යම් හොරයක් ඉඳහිට කාගෙන් හෝ සිදුවුවහොත් අත්තම්මා ගැන විමසන්නේ තොරතුරු හොඳ හැටි දන්නා නමුත් වග උත්තර කරුවන්ගෙන්ම ගැන වමාරා ගන්නට ඇති වුවමනාවටයි. එවන් විටක අත්තම්මාට සුදු ලුණු පොඩි කරන්නට හදනවාට වඩා ඇත්ත ඇති සැටියෙන් කියා ජාමේ බේරා ගැනීම ඇඟට ගුණය. අත්තම්මාට සුදු ලුණු පොඩි කරන්නට නොගියත් ගමේ පන්සලේ, අසල වැසි නිවසක දානයක් ඇති විටක සුදු ලුණු සුද්ධ කරන්නට නම් අත්තම්මා අපිව අල්ලා ගත්තාය. කුප්පි ලාම්පු එළියෙන් සුදු ලුණු සුද්ධ කරන විට අපේ පාළුව මකන්නට අත්තම්මා මිහිරට 'පත්තිනි හෑල්ලේ' කවි කට පාඩමින් ගායනා කල හැටි අදත් මට ඇසෙන්නාක් මෙන් දැනේ. සුදු ලුණු වල ඇති මනා ගුණ මිට ඉහත ලිපි වලදී යන්තමින් මතක් කලත් අද මා සුදානම් වන්නේ අත්තම්මා සුදු ලුණු වලින් පෑ පෙළහර විස්තරාත්මකව ඔබ වෙත ගෙන එන්නයි.








ලිප අයිනේ මුට්ටියක ගොරකා සමග මිශ්රකර සුදුළුණු ගබඩා කල අත්තම්මාට සුදු ළුණු එදිනෙදා ජිවිතයේ අනිවාර්ය අංගයක් විය. රසායනික ප්රතික්රියාව අද දක්වාම මා නොදන්නා නමුත් ගොරකා සමග මිශ්රකල විට සුදු ලුණු බොල් නොවී බොහෝ කාලයක් තබාගෙන භාවිතා කල හැකි බව අත්තම්මලා දැන සිටියෝය. කුඩා කාලයේ ගෙවත්තේ සෙල්ලම් කරන කුඩා අපට කඩියෙක් හෝ දිමියෙක් දෂ්ඨ කල විට අත්තම්මා සුදු ලුණු ගෙඩියක් තලා දෂ්ඨ කල ස්ථානයේ ඇතිල්ලුවේ විෂ නසා වේදනාව අඩු කිරීමටයි.

බද්ර යව්වනයේ සිටින තරුණ තරුණියන්ට ශරීරයේ හෝමෝන විෂමතා (Hormonal Imbalances) නිසා මුහුණේ ඇතිවන කුරුලෑ (acne) සුව කිරීමට කාලයේ සුදුළුණු බික් දෙක තුනක් උනුවතුරට දමා පාන්දරම හිස්බඩ බොන්නට සැලැස්විය. පපුවේ වේදනාවක්, හන්දි පත් අමාරුවක් හෝ තුනටියේ ඇතිවන වාත වේදනාවට අත්තම්මා ගේ පිළියම සුදු ලුණු අහුරක් තම්බා පොඩිකර පානය කිරීමට දීමයි.

 සෙම්ප්රතිශ්යා උන ඇති විට අහාර පිස ලිපේ ඉතිරිවන ගිනි අඟුරු වලට සුදු ලුණු ගෙඩියක් දෙකක් විසි කරන ආත්තම්මා එය යන්තමින් පිලිස්සී එන විට අපට කන්නට දෙන්නේ ඉක්මන් සුවය ලඟා කිරීමටයි. කන් වල ආසාධනයක් ඇතිවූ විට අත්තමා නිවසේ සිඳගත් පිරිසිදු පොල්තෙල් ස්වල්පයකට තලා ගත් සුදුලුණු බික් කීපයක් දමා රත් කර නිවුණු පසු පිරිසිදු පෙරහන්කඩකින් පෙරා බිඳු කීපයක් කන තුලට වත්කලා. එමගින් කන් කැක්කුම අඩුවී, ආසාදනයත් ඉක්මනින්ම සුවවුනා.

 සුදුළුණු , දරු ප්රසුතිය සහ අත්තම්මා අතර එදා තිබුනේ පුදුමාකාර බැඳීමකි. කෙසඟ සිරුරක් ඇති ගැබිණි මවකගේ දරුවා බිහිවීමට පෙර නීරෝගී මට්ටමට වර්ධනය කර ගැනීමට සුදුලුණු විවිධාකාරයටපිළියෙළ කර එම මවට ආහාරයට ගැනීමට සැලැස්වීමට එදා අම්මාවරු සහ අත්තම්මලා දැන සිටියහ. අවසාන දින වල ඇතිවන ව්යාජ ප්රසුති වේදනා (False contractions) වලට අද වාගේ රෝහලට දුවගෙන යන සිරිතක් එදා නොතිබුණි.

බැබිල ගසක මුලක් සමග සුදු ලුණු තම්බා බොන්නට දීමෙන් මෙම ව්යාජ වේදනා පහව යන අතරම එය සැබෑ ප්රසව වේදනානම් ( labour contractions ) දරු ප්රසුතිය ඉක්මන් කිරීමටද ඉවහල් විය.

ගැබිණි කාලයේ අවසන් මාසවල ගැබ්බර අම්මාට නිතර සුදුළුණු ආහාරයට දීමෙන් දරු ප්රසුතිය පහසු වී එහිදී ඇතිවන වෙහෙස අවමවන බව අපේ වැඩිහිටි කාන්තාවන් දන සිටියහ. දරු ප්රසුතියෙන් පසුව දෙන පළමු ආහාරයට සුදුලුණු හොදින් දමා සෑදු තැම්බුන් හොද්ද ලබා දුන්නෙත් මේ හේතුව නිසාමයි.

එපමණක් නොවෙයි ප්රසවයෙන් පසු නිවසට එන මවට සුදුලුණු ගිනි අගුරේ පුළුස්සා කිතුල් හකුරු සමඟ ආහාරයට දීමෙන් ගර්භාෂයේ ඉතිරිවන දරු ප්රසුතියට සම්බන්ද පටක ඉවත් කර, ගර්භාෂය සංකෝචනය (Uterine constriction ) කිරීමටත්, අනවශ්ය ලෙස රුධිරය වහනය වීම (Post-Partum Haemorrhage) වැළක්වීමෙන් කිරි සිඳී යාමේ අවධානය නතර කර ගැනීමට අත්තම්මා දක්ෂ වුවාය.

ලාංකීය ජන සමාජයේ සහ ආයුර්වේදයේ පමණක් නොව බටහිර වෛද්ය විද්යාවේ සහ වෙනක් ලොව පුරා ඇති විවිධ පාරම්පාරික රෝග නිවාරණ ක්රම සදහා සුදුලුනු පුළුල් ලෙස භාවිතා වේ. ලුණු පවුලටම අයත් පැලෑටියක් වන සුදුළුණු උණුසුම් දේශගුනයේදී මෙන්ම ශිත දේශගුනයේදීත් ඉතා සරුවට වැඩේ. එපමණක් නොවෙයි පුරාන බැබිලෝනියානු, ග්රීක සහ ඊජිප්තු ශිෂ්ඨාචාර වල සුදුලුනු බහුලව භාවිතා කල බවට සාධක හමුවී තිබෙනවා. ශිෂ්ඨාචාර වල ශරීරයේ ඇති ප්රතිශක්තිය (immunity) වර්ධනය කර ගැනීමට අද භාවිතා වන එන්නත් වෙනුවට භාවිතා කර ඇත්තෙත් සුදුලුනුයි. සුදුලුණු බහුලව භාවිතා කරන්නන්ට පිළිකා රෝග වලක්වා ගැනීමට හැකි බව පෙර අපර දෙදිගම වෛද්ය විද්යාවන්හි කියවෙනවා.

මේසා ගුණ ඇති සුදුළුණු වල රහස සැඟවී ඇත්තේ එහි ඇති ඇලිසින් (Allicin) නමැති සල්ෆ වර්ගයේ (Suphur compound)රසායනිකය තුලයි. ආහාර මාර්ගයෙන් රුධිරයට එක්වන ඇලිසින් තමයි මේ සියලුම ජීව විද්යාත්මක ගුණ අපට ලබා දෙන්නෙ. මිට අමතරව සුදු ලුණු වල විටමින් සි, බි , සෙලේනියම් ,මැග්නිසසියම්, කැල්සියම්, පොටෑසියම් සහ තවත් බොහෝ පෝෂණ කොටස් අඩංගු වෙනවා. උන සෙම්ප්රතිශ්යාව වැනි රෝග වැලක්විමටත්, සමනය කිරීමටත් හැකි සුදුලුනු වලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. සුදුලුනු වල ඇති ප්රති වයිරස සහ ප්රති බැක්ටීරියා ගුණය නිසායි (anti viral and anti bacterial effect).

රුධිර පීඩනය අඩු කිරීමටත්, රුධිරගත් කොලෙස්ටරෝල් අඩු කිරීමටත් උදව් වෙන සුදු ලුණු නිතිපතා ආහාරයට එකතුකිරීමෙන් හදවත් රෝග වලක්වාගන්න පුළුවන්.



සුදුලුනු වල ඇති ප්රභල ප්රති ඔක්සිකරණ ( Anti oxident ) හැකියාව මගින් ශරීරයේ දිනපතා ගෙවී යන ශයිල සහ පටක වේගයෙන් අලුත් වැඩියා කෙරෙන නිසා නිතර භාවිතා කිරීමෙන් තරුණ කාලයේදී මතකය රඳවා ගැනීමටත් වයසට යාමේදී ඇතිවන මතක ශක්තිය නැතිවන ඩිමේන්ෂියා (dementia) සහ අල්සයිමර් (Alzymers disease) වැනි රෝග අවධානම අඩු කර ගැනීමටත් පුළුවන්

විතරක් නෙමෙයි නිසාම වයසට යාමේදී මුහුණේ ඇතිවන රැලි අඩුකර තරුණ බව බොහෝ කාලයක් රඳවා ගැනීමටත් හැකියාව තිබෙනවා.තව දුරටත් විස්තර කරනවානම් සුදුලුණු ධුලකහරනයක් ලෙස (detoxication) කටයුතු කරමින් ශරීරයේ නිපදවෙන විෂ ඉවත් කිරීමටත්, රසායන විෂ ශරීරගත වූ විට ඒවා අක්රිය කිරීමටත් උදව් වෙනවා.

සුදුලුණු වල ඇති මේ සියලු ගුණ හොඳින් දැන සිටි අපේ අත්තම්මා පිළියෙළ කල හැම කෑම වේලකම රසයත් ගුණයත් වැඩි කිරීමට සුදුලුනු බුද්ධිමත් ලෙස යොදාගෙන තිබුනා. කොස් ව්යංජනයට, කොළ මැල්ලුම් වලට, පොල් සම්බෝලයට, මස් මාළු වලට සුදුලුනු එකතුකර ඒවායේ රස සමබල කරගෙන ගුණ වර්ධනය කර ගැනීමට ඇයට තිබු හැකියාව අපුරු නොවේද? අත්තම්මාගේ මුළුතැන් ගෙදරද , තරුපහේ හෝටලයේ මුලුතැන්ගෙදරද සුදුලුනු එකසේ ජනප්රිය වුවත් වැඩිපුර තෙල් නොදමා තෙම්පරාදු කර හිදෙන්නට හදන අත්තම්මාගේ සුදුලුනු මාළුව සමග තරු පහේ හෝටලයේ අරක්කැමියාට තරඟ කරන්නට බැරි බවට මට නම් කිසිම සැකයක් නැත. නැවතත් අත්තම්මාගේ අත් බෙහෙතකින් හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!


 රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප: අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියලු ගෞරව පුද කරමි)

2 comments:

  1. ඉතා සාර්ථක ලිපියක් ඊට මගෙනුත් පද කිහිපයක් එක් කරන්නේ ඔබතුමිය දිරි ගැන්වීමටයි. සුදුලූනු හෙළ ලුහුණු ලෙසද, වෙදපොත්වල සංස්කෘත භාෂාවෙන් ලසුන ලෙසද සදහන්වේ. අපේ පණු කෂායයේ හා වාත රෝග කෂායවල හා ලසුන පත්ම තෙලට බහුලව භාවිත කරන අතර සාම්ප්‍රදායික තැම්බුම් හොද්දේ හා කරපිංචා කැදට නිරතුරුවම යෙදේ. ඔසප් සමයේ වේදනාවකින් තොරව ඔසප් ලෙය බැහැර කරවීමට හා ගැබිනියන්ගේ ප්‍රසවය පහසු කිරීමට බැබිල සුදුලුනු තම්බා වරින්වර බිමට දෙනු ලැබේ. නමුත් ගැබ්ගෙන පළමු මාස කීපයේ සුදුලුනු භාවිතය අහිතකරවීමට පුළුවනි. ඊට හේතුව ගර්භ සංකෝචන(ගැබ හකුළුවන) ද්‍රව්‍යයක් ලෙස මෙහි ඇති ක්‍රියාකාරිත්වයයි. තවද වාත රක්ත කුෂ්ට වලදී හා 18 වැදෑරුම් කුෂ්ට රෝග වලදී සුදුලුනු භාවිතය අප තහනම් කරයි. ඊට හේතුව එහි ගෙන්දගම් අඩංගු වීමයි. ආමය පැසවීමට හෙවත් ආහාර ජීර්ණය නිසිලෙස සිදුවීමට සුදුලුනු දක්වන දායකත්වය ඉමහත්ය. එය රේණුකා මහත්මිය පාරම්පරික දැනුම සාමාජ ගත කරන සේය.

    ReplyDelete
  2. වැඩිහිටි අය පපුවේ අමාරුවක් ගැන කිව්වොත් ඉක්මනින් සුදුළුනු තම්බල වතුර බොන්න දෙනවා මතකයි...එහි අඩංගු රසායනික ගැනත් දැනගත්තා. ..ගොඩක් කැවම පහුවදා මුත්‍රා ගඳයි නේද? බොහොම වටිනා ඖෂධයක් ගැන වටිනා සටහනක්

    ReplyDelete