Wednesday 21 September 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 22 :කෙසෙල් බඩ




පහුගිය කාලේ ගංවතුරක් ආව කාට කාටත් තවම මතක ඇති නොවැ. ඔය වෙලාවේ  මට මතක් වුනේ පුංචි කාලේ අපි දැක්ක ගංවතුර. කාලේ අවුරුද්දකට හතර පස් වංගියක්  කැළණි ගඟ ගලනවාමයි, හැබැයි ඉතින් ඔය වගේ මහා විනාසෙට නොවෙයි, යන්තම් ඩිංගක් ජල කඳ උඩට ඉස්සිලා සුටුස් ගාල බැහැල යනවා
මේ කාලේ අපිට තිබුණු ලොකුම ෆන් එක තමයි වතුර පිරෙන වෙල්යායේ කෙසෙල් කඳන් ඔරු පදින එක..වැස්සට පෙරලෙන කෙසෙල් කඳන් හතර පහක් එකට කොහු ලනු වලින් බැඳලා උණ  බම්බුවක් උදව් කරන්   ඔරු පදින එකේ තියෙන්නේ ආයි මැරෙනකන් අමතක නොවෙන බොහොම සුන්දර  මතක.. වගේම ඔරු පෙරලිලා තෙමිලා හෙම්බිරිස්සාව හදා ගත්තු හැටි, අම්ම තාත්තාගෙන් ගුටි කෑ හැටි වගේ දේවලුත් අමතක වෙන්නේ නැහැ. ඉතින් අද මන් මේ කියන්න යන්නේ වැස්ස හෝ ගං වතුර ගැන නොවෙයි. වැහි කාලෙට හුළඟට කඩන්  වැටෙන කෙහෙල් කඳේ මැද  ඇති  කෙසෙල් බඩය නොහොත් කෙසෙල් බොඩයෙන් අත්තම්මා මැවූ රස ගුණ පිලිබඳ හිත පතුලේ නිදන් වෙලා තිබෙන මගේ මතක ගැනයි.

නගර බද සිටින බොහෝ දෙනා කෙසෙල් බඩය ගැන අසා තිබෙනවාද කියන එකත් සැකයක්. සොබා දහම සමඟ ජිවත් වුනු අත්තම්මලාගේ කාලයේ නම් පොල් ගස, කොස් ගස වාගේම කෙසෙල් ගසෙනුත් ගත් ප්රයෝජන නිමක් නැති තරම්. වැසි කාලයට ඇද  වැටෙන කෙසෙල් කඳ  පමණක් නොවෙයි, කෙසෙල් කැන කපා ඉවතට ගත්  පසු ඉවතලන කෙසෙල් කඳ නිවෙස් කීපයකට රස ආහාරයක් සැපයුවා පමණක් නොවෙයි, අහල පහල ජිවත්වන උදවියගේ ලෙඩ රෝග බොහොමයකට අනර්ග ඖෂධයක් වූවා.

අද කාලේ මිනිස්සුන්ට බොහොම ලොකු ගැටළුවක් වෙලා තිබෙන කෙසෙල් කඳක් වගේ කඳ බඩ මහත්වීම, වගේම කඳ බඩ මහත නෝනා  මහත්තුරුන්ට හැදෙන දියවැඩියාව සහ රුධිර පීඩනය අඩු කර ගැනීමට බොහොම යස ඖෂධයක් තමා මේ කෙසෙල් බඩය. කෙසෙල් බඩේ වංගෙඩියේ  කොටලා අරන් එලකිරිත් එක්ක රත් කරලා මීපැණි හෝ සිනි ඩිංගක් එක්ක හිස් බඩ  බිව්වාම ලේ නහර වල තියෙන තෙල් මන්ද දියකරලා ගිහින් රුධිර පීඩනය, දියවැඩියාව වගේම තරබාරුව අඩු කරන්න පුළුවන් වෙන බවයි අත්තම්මා කිව්වේ. මුත්රා ගල් ඇති අයට කෙහෙල්මලෙන් තියෙන තල්ලුව මන් මිට පෙර කෙහෙල් මල් ලිපියෙන් කතා කලානේ වගේම මුත්රා ගල් වලට  අත්තම්මා කල තවත් අත් බෙහෙතක්  තමා කෙසෙල් බඩේ කොටලා ඉඟුරු ඉස්ම සහ කරදමුංගු කුඩු ඩිංගක්   කිතුල් හකුරු එක්ක මිශ්රකරලා කන්නට දීම. කළු ගල් මෙලෙක් කරලා අවුකන පිළිම වහන්සේ  නෙලූ හෙළ පරපුරේ අත්තම්මලාට මුත්රා ගල මෙලෙක් කරන එක මහා කජ්ජක් වුනේ නැහැ. කෙහෙල් බඩේ වෙනුවෙන් භාවිතා කල දහසක් ඖෂධ අතරින් තවත් එකක් පමණයි.

බඩ  දරු අම්මලාට කෙසෙල් ගසෙන් තියෙන ගුණ නම් කියලා නිම කරන්න බැරි තරම්. කෙසෙල් ගෙඩිය, කෙහෙල් මල වාගේම කෙසෙල් බඩෙන් ඔවුන්ට එදා  කල සාත්තු අප්රමානයි. බඩ  දරු අම්මලාට නිතර සෑදෙන කෙන්ඩා පෙරලීම, සුදයාම අධික වීම සහ මුත්රා ආසාධන වලට අත්තම්මට නම් මතක් වුනේ කෙසෙල් බඩය. විශේෂයෙන්ම දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න අම්මලාට දරුවා පහතට එන්නට පහසු වෙන්නත්, මල බද්ධය වලක්වා ගන්නටත් කෙසෙල් බඩෙන් ලැබෙන අප්රමාන උදව් නිසා


ගැබ්බර අම්මලාට ඇති විශාලම අවධානමක් තමා ප්රසූතියේදී සහ ඉන් පසුව ඇතිවිය හැකි රුධිර වහනය නිසා රක්ත හිනා තාවයට පත් වීම. මේ අනතුරෙන් මිදෙන්න කල් තියා අත්තම්මලා  දුන් ආහාර වර්ග අතරටත් කෙසෙල් බඩේ අයිති වෙනවා. කෙසෙල් බඩේ කිරි එරවන්නටත් කදිම ආහාරයක් කියා තමයි කාලේ අත්තම්මලා කිවේ. ළඟ පාතක  බඩ දරු අම්මා කෙනෙක් ඉන්නවානම් රසට උයපු කෙසෙල් බඩ ව්යන්ජනයක් ගෙදරට පිටත් කරලා අරින්න අත්තම්මාට අමතක වෙන්නේ නැහැ. කෙසෙල් බඩෙන් ගැබ්බර අම්මාට සිදුවුණු ප්රතිලාභ ගැන එදා අත්තම්මලා හොඳින් දැන  සිටි නිසා.

මේ එක්කම මගේ මතකයට එන්නේ අද කාලේ බොහෝ අය විඳවන ආමාශ තුවාල (gastritis). එදානම් අපට එවැනි රෝග අසන්නට ලැබුනේ බොහොම කලාතුරකින්. අපේ ආහාර වේලේ තිබුණු සමතුලනයේ පෝෂක ගුණ තුලනය පමණක් නොව ඖෂධිය ගුණ තුලනය මෙන්ම ආම්ලික භාෂ්මික , ඌශ්න ශිතගුණ තුලනය නිසා වන්නට ඇති. මසකට දෙතුන් වතාවක්වත් අපේ ආහාරයට එක්වුණු කෙසෙල් බඩයේ ශරීරයේ ආම්ලික තාවය නසන්නට ඇති ගුණය හඳුනාගෙන සිටි අත්තම්මා ආමාශයික වන ඇති අයට නොවරදවා සකස් කර දුන් ආහාරයන් අතර කෙසෙල් බඩයටත් ප්රධාන තැනක් ලැබුනා. කෙසෙල් බඩේ ඇති ශරීරය සිසිල් කිරීමේ හැකියාව මනාලෙස දැන සිටි අත්තම්මා, උෂ්ණාධික ශරීර ඇති පවුලේ උදවියටත් අසල් වැසියන්ටත් කිවේ ඉඳලා  හිටලාවත් කෙහෙල් බොඩයක් කාලා බලාපල්ලා ළමයිනේ කියලයි.

සිංහල බෙහෙතේදී කෙසෙල් බඩේ මුත්රාශයේ සහ වකුගඩු  ගල් ඉවත් කිරීම, මුත්රා ආසාදන , පිළිස්සුම් තුවාල , ආහාර මාර්ගයේ ඇතිවන ආමාශයික තුවාල ඇතුළු විවිධ ආබාද , මල බද්ධය, අධි රුධිර පීඩනය , නින්ද නොයාම ,මානසික ආබාධ  ඇතුළු බොහෝ රෝග සුවයට භාවිතා කර තිබෙනවා. ආයුර්ව්දයේදී ශරීරයේ බර අඩු කිරීමටත් රුව රැක  ගැනීමේ ප්රතිකාර වලටත්, ශරීර අභ්යන්තර ධූලක ඉවත් කර ශරීරය පිරිසිඳු කිරීමෙන් සහ සිසිල් කිරීමෙන් මනා නින්දක් සහ නැවුම් බවක්  ලබා ගැනීමටත්  කෙසෙල් බඩේ යොදා ප්රතිකාර කරන බව කියවෙනවා.

කෙසෙල් බඩයේ ඇති පෝෂක ගුණ විග්රහයේ කියවෙන පරිදි කෙසෙල් බඩ ග්රෑම්  100කටම ඇත්තේ කැලරි 13ක් වැනි කුඩා කැලරි ප්රමාණයක්. එනිසා තමයි ශරීරයේ බර අඩුකර ගැනීමට උපකාරී වන්නේ. කෙසෙල් බඩයේ ඇති ඇති අධික තන්තු ප්රමාණය, කැල්සියම්, පොටෑසියම් වැනි ලවන වර්ග  සහ විටමින් බි 6,   සහ සි ඉන් ලැබෙන ගුණාංග වලට හේතුව වන්නේ. විටමින් බි 6 හිමොග්ලොබින් නිපදවීමට සහ  ඉන්සියුලින් ශ්රාවය කිරීමට උදව්  වන නිසා තමයි  එදා අත්තම්මලා රසායන දැනුම නොමැතිව කලත්   ප්රතිකාර වලින් ප්රත්යක්ෂ ගුණ ලැබී ඇත්තේ.

රසායනාගාර පර්යේෂණ වලින් ඔප්පුකර ඇති පරිදි කෙසෙල් බඩය අද ගැනෙන්නේ ලොව ඇති සුපිරිම ගනයේ ස්වභාවික ආහාර වට්ටෝරුව යටතටයි. ඔවුන්ට අනුව කෙසෙල් බඩයේ ඇති  ශරීරයෙන් දියර ඉවත් කෙරෙන (diuretic) ගුණය නිසා වකුගඩු සහ මුත්රා මාර්ගය සෝදා හැර එහි ඇති ගල් සහ ආසාධන නැති කිරීමට පුළුවන්. එපමණක් නොවෙයි කෙසෙල් බඩයේ ඇති භාෂ්මික ගුණ නිසා මුත්රා ගල් දිය කිරීමට හෝ ගල් ඇතිවීම වැළක්විය හැකි බව ඔවුන් පවසනවා. මුත්රා ගල් වල ප්රමාණය අඩු කිරීමෙන් නිසා ඇතිවන වේදනාව සහ එමඟින් මුත්රා මාර්ගයේ ඇතිවන තුවාල වීම සහ ආශ්රිත ප්රදාහ අඩු කිරීමටත් විශ්වකර්ම හැකියාවක් ඇති බවයි ඔවුන් ඔප්පුකර තිබෙන්නේ

කෙසෙල් බඩයේ ඇති ඉන්සියුලින් වල ගුණාත්මක තාවය වැඩි කිරීමේ හැකියාව සහ ශරීරයේ බර අඩු කිරීමෙන් වැඩිපුර ඉන්සියුලින් ශ්රාවය කිරීමට ඇතිවන හැකියාව පදනම් කර ගනිමින් සතියකට තුන්වරක් කෙසෙල් බඩ යුෂ පානය කිරීමෙන් දියවැඩියාව පාලනය කරගෙන එහි අතුරු ආබාධ වලින් තොරව ආයු දික්කර ගත හැකි බවත් ඔවුන් පවසනවා. ලවන වර්ග සහ විටමින් වර්ග හේතුවෙන් ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කර ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව සහ කය ශක්තිය වැඩි කර ගැනීමටත්, මොනම විධියකවත් තෙල් වර්ග අඩංගු නැති නිසා හදවතේ සෞක්යයටත්, රුධිර පීඩනය අඩු කර ගැනීමටත් උපකාරී වෙන බවත් කියවෙනවා.


බටහිරෙන් ඔප්පු නොකලොත් බුදු දහම පවා විස්වාස නොකරන ඔල මොට්ටල අද පරපුරට ඒත්තු ගැන්වීමට තොරතුරු සොයාගොස්  ලියන්නට සිදු වූවා මිසජිවිත අත්  දැකීමෙන් මේ දේවල් දැන සිටි  අපේ වැඩිහිටියන්ටත්, ඔවුන්ගේ දැනුම ගැන ප්රශ්නාර්ථ නොතිබුන අපේ පරම්පරාවටත්   මේ ගුණ බට පර්යේෂණ වලින් ඔප්පු කරන්නට අවශ් වුනේ නැහැ.

එදා අත්තම්මලා අපතේ නොයවා පවුලේ  සුව සැදීමටත් රස මැවීමටත් යොදාගත් කෙසෙල් බඩය  ගැන ලොව අනෙක් රටවල මතය කුමක්දැයි දැන ගැනීමත් රසවත් කරුණක්. අපේ අසල්වැසි රටේ අදටත් නිතර කෙසෙල් බඩේ සූප වේධයේදීත්, ප්රතිකාර ලෙස ආයුර්වෙදයේත් බහුලව භාවිතා කරනවා


සූපවේදයේදී ඔවුන් කෙසෙල් බඩය ව්යංජනයට, බැදුමට, වාෂ්පයෙන් තබ්මාගෙන, අප කොස් මැල්ලුම් පිළියෙළ කරන ලෙස මැල්ලුමට, සුප් වලට එක්කරන එළවළුවක් ලෙස නැතහොත් කෙසෙල් බඩ තනිකරව සුප් ලෙස, වඩේ  සෑදීමට සහ උදේ ආහාරයට කිරි සමඟ අමුවෙන් සකසන පානයක් ලෙස භාවිතා කරනවා. මේ විස්තර මට සැපයු කේරල දේශයේ මගේ මිතුරිය පැවසුවේ අද ගැහැණු ළමයින් කෙට්ටුවට ඉන්නට කෙසෙල් බඩ අමුවෙන් පානය කිරීම එදාටත් වඩා ජනප්රිය බවයි.

දකුණු සහ නැගෙනහිර ආසියානු සම්භවයක් ඇතිබවට  ක්රි.පූ. 1000 වඩා ඉපැරණි අතීතයේ පොතපත වලින් සාධක සහිතව කියවි ඇති  කෙසෙල්, අප්රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවලට ආවේනික බවටද  විවිධ මත පවතිනවා

1800 අග බාගය  වෙනතුරු කෙසෙල් යනු මොනවාදැයිවත් නොදැන සිටි යුරෝපීයයන් සහ උතුරු  ඇමෙරිකානුවන් අද කෙසෙල් ගෙඩියේ  පමණක් නොවෙයි කෙසෙල් බඩයේ වටිනාකම පවා හඳුනාගෙන එය ඔවුන්ගේ ආහාරයට එක් කර ගැනීමට විවිධ ක්රම සොයනවා. එහි ප්රතිපලයක් ලෙස තමා පිටි කරන ලද කෙසෙල් බඩ අද වෙළඳ පොලෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. උදේ ආහාරයට යෝගට් කෝප්පයකට කෙසෙල් බඩ පිටි හැඳි දෙකතුනක් එක්කිරීමෙන් ප්රබෝධමත් දවසක් සහ නිරෝගී දිවියක් ගත කල හැකි බව තමා අද ඔවුන් පවසන්නේ.

ඖෂධයක් වූවත් අපහසුවකින් තොරව නිසි අනුපාන දමා පානයට  ගැනීමට හැකි  කෙසෙල් බඩය  එදාට  වඩා පහසුවෙන් ජුස් සාදන විදුලි යන්ත්රානුසාරයෙන් සාදා ගැනීමේ හැකියාව ඇතත් නොමිලේ සාදා ගත හැකි මේ දිව් ඖෂධ අද පරපුරේ අය නොදැන සිටීම මහත් අවාසනාවක්.

 සිහින්වලියා  රතුලූනු උම්බලකඩ දමා යන්තම් තෙම්පරාදු කල කෙසෙල් බඩ  මාළුව හෝ බැදුම අදටත් මටනම් කටට කෙල ඉනෙන රසවත් ව්යන්ජනයක්. කෙසෙල් බඩයේ මැද කොටස හීනියට ලියාගෙන දෙහි ඇඹුල් රතුලූනු, අමුමිරිස් සමඟ සලාදයක් ලෙස අමුවෙන්  ආහාරයට එක කර ගන්නටත් පුළුවන්. පරිප්පු, කජු මද හෝ කොස් ඇට දමා හිදෙන්නට කිරට සාදාගන්නා කෙසෙල් බඩය තරු පහේ හෝටලයකට වුව ගැලපෙන රසවත් ව්යන්ජනයක්. ගෙවත්තේ අපතේ යන මේ මහඟු ඖෂධයට ඔබේ අවධානය යොමු කිරීමට මේ ලිපිය උපකාරී වේවා යයි පතමින් අදට සමු ගනිමි.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් ( නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරව හිමි වේ)




6 comments:

  1. රස මසවුලක පොහොසත්කම කියා දුන්නට තුති

    ReplyDelete
    Replies
    1. පොහොසත් එළවළුවක් කසල ගොඩට නොයවන්නට මේ ලිපිය උපකාරී වෙයි කියා පතනවා. මගේ ලිපි හැමදාමත් කියවන ඔබට බොහෝ තුති.

      Delete
  2. Onama kesel gahaka kesel bada uyanna ganna puluwanda?

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් ඕනෑම කෙසෙල් ගසක බඩ ආහාරයට ගත හැකියි. නමුත් ආනමාලු බඩේ තිත්ත යයි කියා උයන්නේ නැහැ. වැඩියෙන් ගුණ යයි සැලකෙන්නේ අළු කෙසෙල් බඩේ. අළු කෙසෙල් බඩේ සර්ප විෂ බෙහෙත් වලට යොදාගන්නවා.

      Delete
    2. pregnent ayata hodama kesel bada wargaya kiyala dennako.

      Delete
    3. මේ ලිපියේ ලියා තියෙන්නේ පොදුවේ සියලු අප ආහාරයට ගන්නා කෙසෙල් ගසේ බඩ වල ගුණ විස්තරයක්. ආනමාලු තිත්තයි කියා භාවිතයට ගැනීම අඩුයි..ඇඹුල් කෙසෙල් වගේම බඩයත් සිතල වැඩියි කියා වැස්ස කාලයට ආහාරයට ගන්නේ නැහැ.. අනෙක් කොයිවත් කෑමට ගන්නවා..අළු කෙසෙල් තමා බෙහෙවින් ජනප්‍රිය..සහ ගුණෙන් වැඩි බව කියවෙන්නේ...

      Delete