Saturday 8 April 2017

ආයුර්වේදය සහ දේශීය වෙදකම කොයිබටද? (Complimentary Medicine in Sri Lanka)

     හයිබ්‍රිඩ් වෙදකම සහ පණ අදින රෝගියා....


 අද ලන්ඩනයට හොඳට ඉර පායලා..සීතලට ගුලි ගැහෙන සිතුවිලි පවා දිග හැරෙන්නේ හිරු එළියත් එක්ක කියලයි මේ රටවල මිනිසුන් හිතන්නේ..


කොයි දේත් තියෙනතුරු  අගයක් නොදැනෙන  නිසා ඉරේ වටිනාකම අපේ රටේදී අඩු වෙනවා..  මේ දිනවල ඉහින් කනින් දාඩිය දමාගෙන ගිනි අව්වේ අවුරුදු සාප්පු සවාරි කරන කෙනෙකුට සූර්‍ය  වර්ණනාව  කරන්න ගියොත් දෙකක් නැහැ මට නම් වෙන්නේ ගුටි කන්න..

ඒ මදිවාට ගිනියමේ අපහසුවට විදුලි පංකාවක පහස ලබන්නත් බැරිලු..විදුලි බල මණ්ඩලය වර්ජනයේ නිසා.. ඒ අතරේ රජයේ රෝහල් වල වෛද්‍යවරුත් වර්ජනයේලු ..මොකක්දෝ ටම් ටම් එකක අවුලක් නිසා .. තහනම් වචනය ලෙස  සලකා ඒ  මාතෘකාව දැනට මග හරිමු..

අතරේ සමහර FB පිටු වල ආයුර්වේද  වෛද්‍යවරු වලි පිට වලි..
''දේශීය වෛද්‍යවරු පලවා හරිමු..
උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු පමණක් සුරකිමු ''
කියන මාතෘකාව යටතේ..


 බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ සිටියත් පෞද්ගලිකව මගේ වැඩි ආදරය ආයුර්වේදයට සහ දේශීය වෛද්‍ය ක්‍රමය බව මගේ ලිපි කියවන රසිකයින්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.. සඳහා හේතු විශාල සංක්‍යාවක් ඇතත් ගැන මෙහිදී සාකච්චා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

සුද්දා වැද්දා කාලයේ..එහෙමත් නැතිනම් වසර දහස් ගණනකට පෙර ඉන්දියාවේ පැවතී  ආයුර්වේදයත්, රාවනා රජු, බුද්ධදාස රජු සමයේ සිට පැවතෙන දේශීය වෙදකමත්  අද වෙනවිට සෙමෙන් අපේ රටේ භාවිතයෙන් ඈත් වෙමින් පවතිනවා. මෙයට හේතුව ලෙස මා පෞද්ගලිකව දකින්නේ අද වන විට සිදුව ඇති ආයුර්වේදයේ නවීකරණය.. 



අද වන විට ආයුර්වේද වෛද්‍යවරයා  මට පෙනෙන්නේ බටහිර පාලනය නිසා බටහිර අදහසට ගැතිව සිටියදීත් තමුන් සිංහල බව පෙන්වන්නට කලිසමට උඩින් සරම ඇඳි  ''රෙද්ද අස්සේ මහත්තයා'' හා සමානව.. 

එහෙමත් නැතිනම්  එක අයකුගේ මුහුණ පෙන්වා අනිකාගේ ගතිගුණ ප්‍රදර්ශනය කෙරෙන දෙමුහුන් හයිබ්‍රිඩ් වර්ගයේ  සතෙකු ලෙස.. සරලව විස්තර කරනවා නම් බටහිර විලාශය අනුගමනය කරන නමට පමණක් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස..


කවුරු කොහොම  කයිවාරු ගැහුවත් අද වෙනකොට බටහිර ප්‍රතිකාර කර අවසානයේ  වැලේ වැල් නැතිව ගහගෙන යනකොට පිදුරුගහෙත් එල්ලෙනවා වැනි අවස්තාවකදී මිස ආයුර්වේද ප්‍රතිකාර සඳහා ජනතාව නොඑන  බව කවුරුත් දන්නා රහසක්..

දැනට වසර දෙකකට පමණ පෙර ලංකාවට ගිය අවස්ථාවකදී මේ අදහස තහවුරු කරන්නට හේතුවන සමීක්ෂණයක්  (AUDIT) සිදුකරන්නට මට පුළුවන් වුනා.. සමීක්ෂණය සඳහා පහත සඳහන් ප්‍රශ්න 5 සඳහා පිළිතුරු අහම්බෙන් තෝරාගත් රෝගීන් 100 දෙනෙකුගෙන් ලබාගත්තා

මේ රෝගීන් රෝහලක පෝලිමේ සිටි අය නොවෙයි.කුමක් හෝ රෝගයකින් දිගුකාලීනව දුක් විඳින සමාජයේ විවිධ  ස්ථාන වලින් තෝරා ගත් අය.. වාගේම මේ සමීක්ෂණය සිදු වුනේ යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, නුවර, රත්නපුරය, කොළඹ, මතුගම, රාගම වැනි රටපුරා විවිධ ප්‍රදේශ වල සංචාරය කරද්දී විවිධ අධ්‍යාපන සහ සමාජතල වල පුද්ගලයන් ඇසුරෙන්.

1. ඔබේ රෝග ලක්ෂණ පහල වුනේ මාස කීයකට පෙරද?
2. මුලින් ඔබ ගියේ කුමන ප්‍රතිකාර සඳහාද? බටහිර/ දේශීය හෝ ආයුර්වේද.. එසේනම් ඇයි ?
3 රෝග විනිශ්චය කලේ කවුද?
4 මුලින්ම කල ප්‍රතිකාර මොනවාද?
5 දැන් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වුනේ ඇයි ? ඔබ ආයුර්වේදයට/දේශීය වෙදකමට යොමුවුණේ දෙවනුව නම් සඳහා හේතුව?
6 වෙනත් අදහස්...

ප්‍රථිපල සටහන් වුනේ මෙන්න මේ ආකාරයට:

1. ඔබේ රෝග ලක්ෂණ පහල වුනේ මාස කීයකට පෙරද?

84%  කගේම රෝග ලක්ෂණ වසරකට අධික කාලයක් සිට පැවතෙනවා. නමුත් පවුලේ වෙනත් ගැටළු හෝ හිතාමතාම තමන්ට රෝගයක් නැති සිතමින් ප්‍රතිකාර   පමා කරලා..
8%කගේ මාස 9කට අධික කාලයක් රෝගලක්ෂණ පවතිනවා. ඉතිරි 8% මාස 3 -6ත් අතර කාලයක්..

2. මුලින් ඔබ ගියේ කුමන ප්‍රතිකාර   සඳහාද? බටහිර/ දේශීය හෝ ආයුර්වේද

78%කම මුලින් ගියේ බටහිර ප්‍රතිකාර   පිණිස..10%ක් දේශීය උපාධි රහිත ගමේ වෙදමහතා වෙත 12%ක් ආයුර්වේද ප්‍රතිකාර  .

ඇයි ?

බටහිර ප්‍රතිකාර  : පහසුව..විශ්වාසය
ගමේ වෙදමහතා: නිට්ටාවටම සුවකළ හැකි යයි විශ්වාසය, බටහිර බෙහෙත් වල අතුරු පල විඳ  ගැනීමට අපහසුව 
ආයුර්වේද ප්‍රතිකාර   : රෝගය එතරම් බරපතල නැති වාත/සෙම්  අමාරුවක් යයි නිගමනය

3. රෝග විනිශ්චය කලේ කවුද?

98% බටහිර ක්‍රමයෙන්
1% ආයුර්වේදයෙන්
1% වෙද මහත්තයා

4. මුලින්ම කල ප්‍රතිකාර   මොනවාද?
100% බටහිර ප්‍රතිකාර  

5 දැන් ආයුර්වේද/දේශීයප්‍රතිකාර   වලට යොමු වුනේ ඇයි ? ඔබ ආයුර්වේදයට/දේශීය වෙදකමට යොමුවුණේ දෙවනුව නම් සඳහා හේතුව?

බටහිර තවදුරටත් ප්‍රතිකාර   නැති නිසා..ඔක්කොම කරලා ඉවරයි..

බටහිරෙන් හොඳ කරන්න බෑ කිව්වා..

බටහිරෙන් හොඳ කරන්න බෑ කිව අය  මෙතනින් හොඳ වෙලා තියෙනවා

බටහිර අතුරුපල විඳගන්න බෑ

බටහිර වියදම දරන්න බෑ, කසාය වට්ටෝරු නම් කොහෙන්  හරි හොයා ගන්න පුළුවන්

6  පොදුවේ සියලු ප්‍රතිකාර ගැන වෙනත් අදහස්...

ලෙඩේ හොයා ගත්තේ බටහිරෙන් නිසා දිගටම එතැනින්ම ප්‍රතිකාර   ගත්තා..

ආයුර්වේදෙට ගියත් ඒගොල්ලෝ ලෙඩේ හොයාගන්නේ බටහිර විධියටම තමයි.. අර පර්ක්ශනේ මේ රිපෝර්ට් එක පිටින් ගන්න කියනවා..ස්කෑන් රිපෝර්ට් එහෙම බටහිර නිසා  ඒගොල්ලන්ට කියලම ඒවා තෝරාගෙන බෙහෙත් ගන්න එක විශ්වාසයි කියලා හිතුනා.


ආයුර්වේදයේ දෙන්නෙත් කොම්පැනි බෙහෙත්..බටහිර දෙන්නේත් කොම්පැනි බෙහෙත් මොකක්ද වෙනස?

ආයුර්වේදයට ගියත් දොස්තරලා අපි කියන දේ අහන්නේ නැහැ..බටහිරත් එහෙමයි හින්දා වෙද මහත්තයා ලඟට ගියා..

ඔය පෙති කරල් වල මොනවා තියෙනවද කියලා කවුද දන්නේ? අඩු ගානේ අපි ගහ කොළ අඳුනනවා එකෙන් දන්නවා මේවා බෙහෙත් තමයි කියලා..

දැන් ආයුර්වේද කිව්වට ඒගොල්ලෝ දෙන්නෙත් ඉස්පිරිතාල බෙහෙතම තමා..නමට ආයුර්වේද..

ඒ තමා සාමාන්‍ය ප්‍රජාවේ  අදහස..මේ මගේ පෞද්ගලික අදහස..

ආයුර්වේදය  වේවා දේශීය වේවා සාමාන්‍ය ජනතාවගේ අදහස මේ ශාකසාර ඖෂධ  යන්න.. අද පවතින  බොහෝ රෝග වලට හේතු බිජවන්නේ ආහාර මගින් සිරුරට ලැබුණු ශාකසාර ගුණ නැතිවී 
යාම

උදාහරණයක් ලෙස ආහාරයට ගන්නා තුනපහ ගතහොත් සුදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි දුරු වර්ග කොටා හෝ අඹරා පැය 24-48ත් අතර කාලයේදී ඒවායේ ඖෂධිය ගුණ නැති වී යනවා. කඩයෙන් මිලදී ගෙන මාස ගණන් පැරණි තුනපහ කුඩු වලින් මේ ගුණ නොලැබෙන්නේ නිසා. වාගේම මේ දුරු වර්ග යාන්ත්‍රිකව කුඩු කිරීමේදී අධි තාපය නිසාත් ගුණ විනාශ වෙනවා..

අද වන විට විශාල කර්මාන්ත ශාලා තුල නිපදවෙන ශාකසාර නිෂ්පාදන යන්ත්‍ර සුත්‍ර වල අධි තාපය සහ දිගු කාලයක් තබා ගැනීම නිසා එහි ගහක කොලෙන්  පොත්තෙන් නැවුම්ව ලබා ගන්නා ගුණ විනාශ වන බවට අටුවා ටීකා අවශ්‍ය නැහැ.. 

වාගේම එදා මේ කසායක් නිපදවුනේ මැටි මුට්ටියක මනාව ගිනිදැල් පාලනය කිරීමෙන්..ඇතැම් කසාය වර්ග සඳහා විශේෂිත දර වර්ග පවා භාවිතා කළා

නමුත් විසල් කර්මාන්ත ශාලාවල යකඩ යන්ත්‍රවල නිපදවෙන ආලේප, ක්වාත වල මේ ගුණ කොහොම ගන්නද? ආයුර්වේද ප්‍රතිකාර  පෙර මෙන් ප්‍රත්‍යක්ෂ නොවන්නට මුලික හේතූන් ලෙස මට පෙනෙන්නේ කාරනා.

දෙවනුව මා කුඩා කාලයේ අත් දැක ඇති පරිදි ඇතැම් ආයුර්වේද/දේශීය  ඖෂධ වට්ටෝරු  නිපදවීමේදී පිරිත්/ශ්ලෝක සජ්ජායනය වට්ටෝරුවේ ප්‍රත්‍යක්ෂ බව වැඩි වීමට හේතු වෙනවා. නමුත් මහා පරිමානයේ කර්මාන්ත ශාලාවල ඖෂධ නිපදවෙන විට ඒවා ගැන කුමන කතාද?


තුන් වැනිව ආයුර්වේදයේ/ දේශීය ක්‍රමයේ  රෝගියකු පරික්ෂා කර ඉතිහාසය විමසා , නාඩි විමසා  සිදුකල රෝග විනිශ්චය අද වන විට සිදුවන්නේ බටහිර මෙන්ම  ස්කෑන් ලේ වාර්තා මගින්. ඉතින් එහි ඇති  විශේෂත්වය / වෙනස කුමක්ද?

හතරවෙනුව අද වන විට කුමන ක්ෂේත්‍රයේ වේවා වෛද්‍යවරුන්  තුල මෛත්‍රිය  කරුණාව නැති කම..ඒ බව ඔවුන් තම තමන්ගේ ක්ෂේත්‍රවල අනෙකුත් අය සමඟ ප්‍රසිද්ධියේ  සිදුකරන ද්වේශ සහගත ආරාවුල් මනා උදාහරණයන්.. ක්ෂේත්‍රයේ  බලය තහවුරු කර ගැනීම මිස වෙනත්අභිප්‍රායන්  ඔවුන්තුල ඇත්දැයි යන්නත් සැක  සහගතයි..

ආයුර්වේදයේ පසුබෑමට ඊළඟ හේතුව ලෙස අරිශ්ඨ බීමෙන්  සිරෝසීස් හැදෙන බවට සමාජයේ මුල් බැසගෙන ඇති මතය හඳුන්වන්න පුළුවන්..

දේශීය වෙදකමේ පසු බෑමට සුව වීම පිලිබඳ දත්ත එකතු නොකිරීම, බෙහෙත් පැලෑටි සොයා ගැනීමට ඇති  අපහසුව , කෂාය, පත්තු වැනි දේ නිසි ලෙස සකසා ගැනීමට    නවීන නිවෙස් වල පහසුකම් නැතිවීමත් බලපානවා.



දේශීය වෙදකමේ පසු බෑමට සුව වීම පිලිබඳ දත්ත එකතු නොකිරීම, බෙහෙත් පැලෑටි සොයා ගැනීමට ඇති  අපහසුව , කෂාය, පත්තු වැනි දේ නිසි ලෙස සකසා ගැනීමට    නවීන නිවෙස් වල පහසුකම් නැතිවීමත් බලපානවා.

 කාලයේ තාලයට සියල්ල වෙනස් වී ඇති නිසා මේ ක්ෂේත්‍රයේ අයට  නැවත හැරී යාමට නොහැක.. ගැන  කිසිඳු තර්කයක් නැත

ක්ෂේත්‍රයේ අය එකඟ වුවද නොවුවද උපාධි සහතික සියයක් තිබුනද  ප්‍රතිකර්ම වල ප්‍රත්‍යක්ෂ බව  ඉහල යනතුරු  රෝගීන්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි අතර දේශීය වෙද  මහතා සොයා රෝගීන් යාම වලක්වන්නටද නොහැක.


 ලිපියට අදාළ නැති වුනත් අවසානයේ පෞද්ගලික අත්දැකීමකින් සටහන අවසන් කිරීමට සිතුවා.. 

රිය අනතුරක් නිසා ඇති වූ,  තවදුරටත් ඉතිරිව ඇත්තේ සාර්ථකත්වය ගැන විශ්වාසය  නැති ශල්‍ය  කර්මයක් පමණක් බව  බටහිරෙන් පැවසු,  කල් ගිය සන්ධි රෝගයකට ප්‍රතිකාර පිණිස අනුරාධපුර කැකිරාවේ වයස්ගත වෙද සියා කෙනෙකුගේ සහය පතන්නට වුනා..

''සීයා වෙදකම ඉගෙන ගත්තේ කොහෙන්ද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාල තිබෙනවානේ.. එයින් එකකට ගිහින් නැද්ද?''

අහිංසක හිනාවකින් මුව පුරවාගෙන, කරුණා බරිත දෑසින් මා දෙස බලා ඔහු මට දෑත් පෑවා..

''නෝනා මේ බලන්න මගේ නියපොතු, අත් වල තියෙන කහට..
මේවා බෙහෙත් කහට..මේවා දැන් හොදාලා යවන්න බෑ .. 

නෝනගේ අත්වල තියෙන පාට මන් මගේ අත් වල දැකලා නැහැ අවුරුදු හැටකින් මෙහා..ලඟක් වෙනකන්  මං කැලේ ඇවිදලා බෙහෙත් එකතු කලේ...දැන් මට ඇවිදින්න අමාරුයි..ඇස් පෙනීම අඩුයි.. වුනාට බෙහෙත් ගේන  කොල්ලන්ට මාව අන්දන්න බෑ..සුවඳින් කහට පාටින් මන් දන්නවා හරි මුල, කොළේ, පොත්ත'' 

''බලන්න පාන්දර තුනේ ඉඳන්  ඉන්න ලෙඩ්ඩු  පෝලිම....''

''ඒ තමා මගේ සහතිකය... ''

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්














4 comments:

  1. මගේ අම්මයි තාත්තයි දෙන්නම දේශිය බෙහෙත් වලට ලැදි අය. මට මතක හැටියට ඔය අරිෂ්ට කතාව මුලින්ම පැතිරෙව්වේ ප්‍රයිවෙට් චැනල් පටන් ගත්තට පස්සේ. අරිෂ්ට වලට සිරෝසීස් හැදෙන කථාව අපේ තාත්තාටත් කියුවා කවුද මන්දා. ටම් ටම් නෙමෙයි මොක ආවත් ලංකාවට නම් වැඩක් වෙයිද මන්දා.

    ReplyDelete
  2. යටත් විජිතයක් වීමෙන් දැඩි හීනමානයට ලක්වීම නිසා දේශිය දේ හොඳ නරක නොබලා ඉවත දමා බටහිරින් ලැබෙන හොඳ දේවුනත් ඉවත් කර එයින් ඉවත දමන දෑ බදාගන්නා බැවින් දේශීය වෛද්‍ය ක්‍රමය කුඩම්මාගෙ සැලකිලි ලබන්නක් ! නිවැරදිව සේවයේ යෙදෙන අය නිහඬව නොමිලේ ලබා දෙන්නක් බැවින් එහි අගය තවතවත් පහළ ගියා රේණුකාගේ පොස්ටු වටිනා මෙහෙවරක පිය සටහන් වනු ඇත

    ReplyDelete
  3. කාලීන මාතෘකාවක් ප්‍රස්තුත කරගෙන රේණුකා මහත්මිය එක්කර ඇති ලිපියේ බොහෝ කාරනා සදහා මා කනගාටු වෙමින් එකග වෙනවා. කණගාටුව නම් අහිංසක ජනතාව ජරා ව්‍යාධි දෙකින් මුදවාගතහැකි හෙළ වෙදකම හා ආයුර්වේදය වර්තමානයේ මුහුනදී ඇති අභියෝග නිසයි. මේ තත්වයට 01.යටත් විජිත සමය හා ඉන්පසු පත්වූ කළු සුද්දන්ගේ ආණ්ඩු, 02.රටේ ජනයාගේ හින මානය 03.රටේ දේ ගැන හැගීමක් නොවීම. 04.ජාතික ප්‍රතිපත්ති වලදී පෙරදිග සෞඛ්‍ය උදෙසා කුඩම්මාගේ සැලකිලි ලැබීම. 05.වෙළද පල ආර්ථිකය අවභාවිතා වීම.(නියාමනයකින් තෝර වීම.) 06.බහුතරයක් බටහිර වෛද්‍යවරයෙකු වීමේ සිහිනය බොදවූ පසු ආයුර්වේද උපාධිදාරියෙකු වීමට සතිම හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එම හීනමානයෙන් යුතු පුද්ගලයන් අතින් පාලනය වීම.07.දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් ඇතත් දේශීය වෛද්‍ය සබාවක් නොවීම හා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවක් නොවීම. 08.දේශීය වෛද්‍යක්‍රම පිළිබද ජාතික ආයතනය ආයුර්වේද උපාධිදාරීන් උදුරාගෙන පාලනය කිරීම. 09.පරිසර විනාශය නිසා ඖෂධ දුලබවිම හා ජාවාරම්කරුවන් ලාභය උදෙසා නිසි ඖෂධ ලබාදීම කෙරෙහි උනන්දු නොවීම. 10.පාරම්පරික වෛද්‍යවරුන් ලෙස පගාවට වංචනිකයන්ට ලියාපදිංචිය පිරිනැමිම. 11.සැබෑවටම හෙළ වෙදකම දන්නා අයගෙන් ආයුර්වේද මුලධර්ම විමසා ඔවුන් අමාරුවේ දැමීම හා පසුව ඔවුන් හොර වෙදුන් ලෙස කොන් කිරීම. 12.පාරම්පරික දැනුම සුක්ෂම ලෙස කොල්ලකෑමට ලක් කිරීම. 13.පවතින සමාජ ආර්ථික ක්‍රමයට මුහුණදීමට සමහර අපේ වෙද මහතුන්ට හැකියාව නොමැතිකම. 14.බටහිර ඖෂධ සමාගම් විවිධ දුර්මත සමාජය මත බලෙන් පටවා තිබීම. 15.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට දේශීය පාරම්පරික දැනුම උකහාගෙන හෙළවෙදකමට සැබෑ ආදරයක් ඇති පරම්පරාවල දරුවන් ඉන් ඈත්කීරීමට කුමන්ත්‍රණ අතිතයේ සිට වර්තමානය දක්වා පැවතීම. ආදී කරුණු බලපා ඇති බව මගේ හැගීමයි.

    ReplyDelete
  4. මුලින්ම බටහිර ඇලොපති වෛද්‍ය විද්‍යා ක්‍රමය ඇත්තටම කොච්චර සාර්ථකද කියල බටහිර තොරතුරු අනුව බලමු

    {Doctors Are The Third Leading Cause of Death in the US, Killing 225,000 People Every Year}

    https://hub.jhu.edu/2016/05/03/medical-errors-third-leading-cause-of-death/

    ඇමරිකානු Johns Hopkins වෛද්‍ය විද්‍යාලයට අනුව ඇමරිකාව තුල මියයන රෝගීන්ගෙන් 1/3 මියයන්නේ වෛද්‍ය වරුන්ගේ වරදින් !!

    මෙය බ්‍රිතාන්‍ය මෙඩිකල් ජර්නලයේ සදහන් උනා.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් අතින් කිසිවෙකු මියයන්නේ නැත්තේ ඇයි කියල ඔබ දන්නවද ? මුලිකම හේතුව පැය 24 ට පසු ලෙඩා මියගියහොත් කිසිම මරනප්ර්යේෂණයක් කරන්නේ නෑ. එකියන්නේ උපකල්පනය කරන්නව වෛද්‍ය වරයාගේ වරද හැර ඔනෑම වරදක් වියහැකි බව.

    බටහිර වෙදකම කියන්නේ නවීන තක්ෂණික දියුණුව මහින් ලෙඩ හදුනාගන්නව යයි කියමින් ඔවුෂද සමාගම් වලට උවමනා විස ජනතාව ශරීර ගත කරමින් දිගින් දිගටම මුදල් උපයන ක්‍රමයක්, තමා මෙය කරන බව වෛද්‍ය වරුන්වත් බොහෝවිට නොදැනීමයි මෙහි අපුරුව.

    දේශීය වෙදකම ගත්තහම අදත් ඉන්නවා දක්ෂ වෙදමහතුන් ඔවුන් ගුරුමුෂ්ටි තබාගන අනාගත පරපුරට තමාදන්න ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් දෙමින් ක්‍රමිකව අබාවයට යනවා

    ReplyDelete