Friday 12 August 2016

සීනි හැදිලද? :දියවැඩියාව (1 කොටස) Diabetes

                            සීනි හැදිලද?

                   දියවැඩියාව  (1 කොටස)




ඊයේ පෙරේදා දවසක ඕන් අපට ආරාධනාවක් ලැබුනා රාත්‍රී භෝජන සංග්‍රහයකට එන්ට කියාලා. දන්නා නොදන්නා දෙවර්ගයේම මිත්තරයෝ හිටි සාජ්ජය යන අතරේ දන්නා මිත්තරයෙක් මගේ කනට  කොරල කියාපි අහවලාට ''සිනි හැදිලා '' කියලා. දැන් ඉතින් මගේ රබර් ඇහැ යන්නෙම අහවලාගේ කෑම බිම දිහාට. ඕක ඕන්  මගේ වරදක් එහෙම නෙමෙයි..ඔය සෞක්‍ය  අංශයේ ඉන්න අයට තියෙන ලෙඩක්..ලෙඩක් කිව්වම ඒකම  පෙනෙන එක.



අපරාදේ කියන්න බැහැ සාජ්ජේ ලැස්ති කරලා තිබුන උන්දැලා බොහොම අපූරුවට ඕනෑම කෙනෙක්ට හරියන විධියේ විව්ධාකාර කෑම වර්ග සූදානම් කොරල තිබ්බ. දැන් ඔන්න ඉස්ටාටර්ද මොනවද කියන රවුම යනවා..අහවලාගේ කාඩ්බෝඩ් පිඟාන පිරුනා කට්ලස්, පැටිස්, රෝල් වලින්, ඊළඟට ටුමෑටො සෝස් ලොකු තලියක්.. දැන් මේන් කෝස් එකට රුවන්මැලි සෑයේ කොතේ  උස විතර ෆ්‍රයිඩ් රයිස් පිඟාන, ඊළඟට ලොකු අයිස් ක්‍රීම් එකකට එහෙම වග කියල තමයි අර අහවලා පස්ස බැලුවේ..

ඔන්න ඔය අතරේ අහවලා එක පාරට මාව දැකලා දත් තිස් හතරම විරිත්තලා කියාපි.. ''සිනි තියෙනවා..ගානක් නැහැ මන් ඔය වෙන අය වගේ නෙමෙයි..නියම වෙලාවට පෙති ටික ගන්නවා..''  ''සිනි ගණන් කාලේ කොච්චර දෙයක්ද?'' කියලා මාත් ඉතින් ගානක් නැතිවම කියල දැම්මා.



දැන් ඉතින් පෙති ගත්තම ඔක්කොම හරිද? මේ තමයි අද අපේ සාමාන්‍ය අදහස..සිනි හැදිලා , පෙති ගත්තම හරි ..සිනි හැදෙන්නේ කොහොමද, සිනි වැඩි වුනාම  මොනවද වෙන්නේ කියල නිසි පරිදි දන්නා කෙනෙක් නම් දත් විරිත්තලා හිනා වෙනවා වෙනුවට  බිම පෙරලි පෙරලි අඬන බව නම් නිසැකයි..





සීනි නැත්නම් දියවැඩියාව හැදෙන්නේ කොහොමද? 

බොහොමයක් අය නොදන්නා දෙයක්. අපි ගන්නා අහාර දිරවීම අවසානයේ  සිරුරට උරා ගන්නේ ''ග්ලුකෝස් '' කියන සිනි වර්ගය බවට පත්වෙලා. මේ සිනි සිරුරේ තියෙන සයිල වලට ඇතුළුවෙලා ඒ තුලින් තමයි   අපි දිනපතා සිදුකරන ක්‍රියාකාරකම්, ඒ කියන්නේ, ඇවිදීම, කතාකිරීම, හුස්ම ගැනීම, දිවීම පැනීම, යනාදී සියලු ක්‍රියාකාරකම් වලට ශක්තිය සැපයෙන්නේ.


 නමුත් මේ සිනි ශයිල  වලට ඇතුල් කරන්න අවශ්‍ය එක්තරා රසානයක් තියෙනවා.. ඒ තමයි ''ඉන්සියුලින්'' කියන හෝර්මෝන වර්ගය. මේ හෝර්මෝනය අඩු වැඩි වීමක් වුනොත්  ශයිල වලට ග්ලුකෝස් ඇතුළු  නොවීම හෝ ඇතුළු වීමේ අඩු වැඩි වීමක් වෙනවා. එතකොට ඉතින් මේ සිනි ලේ වල එකතු වෙලා තියෙනවා. එකට තමයි සීනි හැදෙනවා කියන්නේ.

දැන් මේක අපි උදාහරණයකින් ගත්තොත්..ඔන්න පුංචි දූපතක් තියෙනවා. මේ දුපතේ වැසියන්ට අවශ්‍ය ආහාර ගෙනියන්නේ එහා පැත්තේ තියෙන තව දූපතකින්. හැබැයි මේ දූපතට ආහාර ගෙනියන්න තියෙන්නේ එකම නැවක් විතරයි.දැන් මේ නැව කැඩුනා කියමු.එතකොට අර දූපතේ මිනිස්සුන්ට ආහාර නැතිව යනවා..එතකොට මේ නැව  තමයි අපේ කතාවේ ඉන්සියුලින්..

සිනි හැදෙන ක්‍රම දෙකක් තියෙනවා..

පළමු ක්‍රමය තමයි ඉන්සියුලින් සම්පූර්ණයෙන්ම නැති වීම..මේක හැදෙන්නේ කුඩා ළමයින්ට.. (Type 1 Diabetes) අපි මේ රෝගය දැනට පැත්තකින් තබමු..

දෙවෙනි සහ දැනට ලොව වැඩියෙන්ම පවතින ක්‍රමය තමයි ඉන්සියුලින් අඩුවීම  හෝ පවතින ඉන්සියුලින් වල ගුණාත්මක භාවය අඩුවීම.. (Type 2 Diabetes)දැන් අපි කතා කරන්න යන්නේ මේ දෙවෙනි විධියට සිනි වැඩිවීම ගැන..

උදාහරණයක් ගෙන බලමු.. යෝධයෙක් ඉන්නවා රජ වාසලේ සේවය කරන.. මේ යෝධයා සාමාන්‍ය විධියට රජවාසලේ වැඩ කරගෙන යනවා..එතරම් මහන්සියක් නැතිව දවසේ කටයුතු අවශ්‍ය පමණ විවේක ඇතිව..නමුත් කාලයක් යද්දී යෝධයා වයසයි..නමුත් රජ වාසලේ වැඩ අඩුවක් නැහැ..යෝධයාට  තමන්ගේ රාජකාරි කර ගන්න බැරිව එකතු වෙනවා..වැඩ ගොඩ ගැහෙනවා.. ඒ තමයි ඉන්සියුලින් අඩු වීම..වයසට යන අයට සීනි වැඩි වෙන්න හේතුව ඒක තමයි..ඒ අයගේ ශරීරයට අවශ්‍ය තරමට ඉන්සියුලින් නිපදවෙන්නේ නැහැ ඉන්සියුලින් නිපදවෙන අග්න්‍යාසයේ බිටා ශයිල  දැන් වයස නිසා..

තව මාලිගාවක් තියෙනවා, මේකෙත් ඉන්නවා යෝධයෙක්..ඒකා තරුණයි.ඒ වුනාට වැඩට වැඩි උනන්දුවක් නැහැ..බාගෙට වැඩ, නැත්නම් බොරු කරන්නේ අද කාලේ තරුණ පරම්පරාව වගේ...මෙහෙම යද්දී වැඩ ගොඩ ගැහෙනවා.. මේ තමයි ඉන්සියුලින් වල ගුණාත්මක බව අඩුවීම නිසා ඇතිවන සිනි..වැඩ ගොඩ වෙනවා වගේ සිනි ලේ වල එකතු වෙනවා..

තවත් ක්රමයක් තියෙනවා.ඔන්න යෝධයා නිසි විදියට විවේක  ඇතුව වැඩ  කළමනාකරණය කරගෙන යනවා.. . කිසි අවුලක් නැහැ යෝධයාට ඕන ශක්තිය ඕන පදමට තියෙනවා.ඔන්න ඔහොම ඉන්නකොට මේ යෝධයාට වෙලාවක් අවේලාවක් නැතිව රජවාසලෙන් වැඩ පවරනවා..යෝධයාට මේක කළමනා කරණය කරගන්න බැරිව වැඩ එකතු වෙනවා.. හති  වැටෙනවා..වැඩ වල කාර්යක්ෂමතාවය නැතිවෙනවා..කළමනා කරණය කිව්වේ සමබල ආහාරයට. ඉස්සර අප ගත් ගොඩේ එළවලු පලතුරු රතු බත් සහිත ආහාරය..එය පාලනය කිරීම ශරීරයේ ඇති ඉන්සියුලින් වලට ඉතා පහසුයි. නිතර ඉන්සියුලින් පිටකර ග්‍රන්ථින් වෙහෙසට පත් වීමක් නැහැ. නමුත් වර්තමානයේ වෙලාවක්  අවේලාවක් නැතිව පැණි රස වර්ග, පිෂ්ඨය , තෙල් අධික  කෑම වර්ග ආහාරයට ගත්තම ඉන්සියුලින් ක්රියාකාරිත්වය අඩු වෙනවා. බීටා ශයිල  අධික ලෙස වෙහෙසට පත් වී ඉන්සියුලින් නිපදවීම අඩු වෙනවා , අද හැම දෙනාටම දියවැඩියාව හැදෙන්න හේතුව තමයි මෙය.


දැන් ඔන්න දියවැඩියාව හැදෙන හැටි තේරුනා කියමුකෝ..දැන් මේකට දියවැඩියාව නැත්නම් වතුර වැඩි වීම කියන්නේ ඇයි ? ලේ වල එකතුවෙන සිනි ඉවත්කරන්න ක්‍රමයක් අපේ මේ මොලය කල්පනා කරනවා..මොලේට හිතෙනවා මේක යවන්න ඕනේ වකුගඩු හරහා කියල..ඉතින් කොච්චරවාත් චූ යනවා..මොකෝ මේ ඇඟ  හදන්නේ ඔක්කොම සිනි ටික යවලා ලේ ටික පිරිසින්දු කරගන්න.. 
 අතරේ අපිත් තොරතෝංචියක් නැතිව කනවා..තොරතෝංචියක් නැතිව චූ දානවා..ඔන්න ඔහොමයි නම හැදුනේ..එතකොට මේ ලිපිය කියවන රෝගය හැදුනු අය
 හිතනවා නම් බෙහෙත් බොද්දීත් චූ යන්නේ ඇයි කියලා , ඒකෙ තේරුම තවම සිනි පාලනය වෙන්නේ නැහැ කියන එකයි.


දැන් මේ චූ යන එක වැඩි වුනාම ඉතින් ශරීරය වේලෙන්න ගන්නවනේ..එකට හරියන්න ශරීර යන්තරේ හොඳ පිපාසාවක් හදනවා..ඒ නිසා තමයි මේ රෝගයේදී අධික පිපාසාවක් එන්නේ..බොනවා චූ කරනවා--කනවා චූ කරනවා..

දැන් එතකොට මේ දියවැඩියාව හැදුනු අය එක පාරට හුබහෙන්  ඇදල ගත්තා වගේ කෙට්ටු වෙන්නේ ඇයි? දැන් මේ ග්ලුකෝස් ශයිල  ඇතුලට  ගිහින් නොවැ අපිට ශක්තිය සපයන්නේ..ග්ලුකෝස් ශයිල ඇතුලට නොයන කොට මොලේ කල්පනා කරනවා දැන් කොහොමද මේ ශරීර යන්තරේ පාලනය කරන්න ඉන්ධන හොයාගන්නේ කියලා..ඒ පාර මොලේ කරන්නේ ඇඟේ තියෙන මේධ තට්ටුව දියකරලා යන්තරේ දුවන්න ඉන්ධන හොයා ගන්නවා.. මේධ ඉවර වුනාම මාංශ පේශි පවා බිඳ දමනවා එතකොට ඉතින් ඔය කැකිරි ගෙඩිය වගේ තිබුණු ඇඟ දවසට දෙකට මේන් දිරල ගිහින් 

උදාහරණයකට කාර් එකක් ගම්මු. ඔන්න දැන් මේ කාර් එක දුර ගමනක් යනකොට ඉන්ධන ඉවර වුනා.. දැන් කොහොමද දුවන්නේ ..කාර් එකේ  තියෙනවා  ගමනාන්තයේදී නතරවෙන තැනදී ලාම්පු පත්තු කරන්න ගෙනාව භූමිතෙල් ලීටරයක් දෙකක්..දැන් ඉතින් මේ භූමිතෙල් දාලා ගමන් යන්න උත්සාහ කරන කොට එන්ජිම ගෙවිලා කරදර වෙනවා වගේ වැඩක් තමා ඔතනදි වෙන්නේ..

දැන් මේ දියවැඩියාව හැදුන කෙනෙකුට මෙලෝ පණක් නැහැනේ..ඇයි  හත් දෙයියනේ ශක්තිය දෙන්න කොච්චර කෑවත්
  ඒ ග්ලුකෝස් ලේ වලින් එහාට ශරීර කූඩුව ඇතුලට නොයන කොට කෝ ශක්තිය? හරියටම අර දූපතේ කට්ටිය නැව ආවේ නැති වුනාම හාමතේ කන්න නැතිව ඉන්නවා වගේ තමයි..


අදට මදැයි නේ..ඔය කට්ටිය චූ දාලා ලැස්ති වෙලා ඉමු..ඉතුරු ටික අරන් එනකන් හොඳේ..


ලිපි මාලාව ගැන:

අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. ඒ අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්‍රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි. තුන්වන ලෝකයේ අධ්‍යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්‍රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි  අකුරු හැකියාව වැඩි රටක  පැතිර යන්නේ ඒ පිළිබඳව නිසි අධ්‍යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්‍යායාම මද කම නිසාවෙන්. 2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්‍රවනතාවය 7.8%කි. වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක්  අයෙකු එනම් 16.6%ක්  අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයි. හෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා  රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට ඒ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.

මීළඟ කොටස් මෙතනින් කියවන්න 
දියවැඩියාව2
දියවැඩියාව3
දියවැඩියාව4

දියවැඩියාව5

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට


(Qualified Diabetic Nurse Specialist: Masters level: Buckinghamshire New University: London)

(චායාරූප අන්තර්ජාලයෙන් )

References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK




15 comments:

  1. Good article but try to explain it simple instead many stores inside of one story. Keep writing.

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව ගැන දිනපතා ලිපි පලවෙනවා, නමුත් ඒ පලවෙන භාෂාවෙන් කාටවත් එය ඇතිවන හේතුව සහ රෝග ලක්ෂණ වලට හේතුව තේරුම් ගන්න බැහැ ..මේ ලිපි මාලාවේ අරමුණ ඕනෑම කෙනෙකුට මේ රෝගය ඇතිවන සැටි ඒ සැටියෙන්ම පහදා දීම.. බොහෝ අය ප්‍රතිකාර වලට අවශ්‍ය ලෙස හැඩ නොගැසෙන්නේ මේ නොදැනුවත්කම හේතුවෙන්...කතානුසාරයෙන් ගෙතුවේ ඕනෑම අධ්‍යාපන මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න හැකි වීමටයි..

      Delete
    2. කියන්න වචන නෑ විශිෂ්ඨයි. කියවන්න කම්මැලි ඔනේ කෙනෙක් එක හුස්මට කියවයි මේ ලිපි. භාෂාව සහ කතන්දරමය ස්වරූපය ඉතාම සිත් ගන්නා සුලයි. ඔබතුමිය බොහොම ලොකු පිංකමක් මේ කරන්නේ.

      Delete
    3. ස්තූතියි ඔබ දෙදෙනාගේම අදහස් වලට..දියවැඩියාව ඉතා ගැඹුරු මාතෘකාවක්‌, කුමන තරාතිරමක කෙනෙකුට වුව තේරුම් ගැනීම සහ ඒ අනුව හැඩ ගැසීම ඉතාම අපහසු රෝගයක්..නමුත් නිසි ලෙස අවබෝධයක් ලැබුවොත් රෝගය පාලනය කර ගෙන වැඩි කාලයක් ජිවත් වන්නට පුළුවන්. මේ රෝගය පාලනය කිරීමේ සහ වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ පවුලේ අම්මටයි..21 වැනි ශත වර්ෂයේ වුව අදටත් අප රටේ රැකියාවට යන කාන්තාවන් ලොව අනිකුත් රටවලට සාපේක්ෂව අඩුයි. එය මේ රෝගය පාලනය කර ගැනීමට වාසි පිණිස හරවා ගැනීමයි මගේ අරමුණ..අපේ අම්මලා කම්මැලියි..ඔවුන් කැමති කතා කියවන්න විතරයි..ඒ නිසයි කතා අනුසාරයෙන් ගෙතුවේ..රෝගයේ ඇති ව්‍යාකූල සහ සංකූල බව නිසා මේ ලිපි මාලාව බොහෝ කොටස් ගනාවකින් ඉදිරියට ගෙන යන්න වෙනවා.

      Delete
  2. දියවැඩියාව සරල සිංහලෙන් කදිමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ වැන්නෙකුගේ අගය කිරීම ඉදිරි ලිපි ලිවීමට ශක්තියක් කර ගනිමි..ස්තූතියි ඔබටත්

      Delete
    2. Diya wadiyawa sinhala beheth walin suwa karanna barida.

      Delete
  3. නැතිකර දමා කියවන්නට අලසකම
    කැටිකර කාරණා  වටිනාකම බොහොම
    පුදකර සියලු මිතුරන් හට ඔබෙ දැනුම
    සුමිතුර මගෙන් තෙරුවන් සරණේ පැතුම! 

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුර

      Delete
  4. ඉස්තරම් ලිපියක්, මේ ලිපිය අරන්ගිහින් දෙන්න ඕන කීපදෙනෙක්ම ඉන්නවා , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේක දැනගන්න ඕන අය අපමණයි අද වෙනකොට..බෙදා හදා ගන්න...හැමෝගෙම සුභ සිද්ධිය වෙනුවෙන්

      Delete
  5. Obage watina kalayata mage hada piri pranamaya. hondata therenawa

    ReplyDelete
  6. harima wtina lipiyak godak dewal egena gaththa ... mage amma ta diyawadiyawa thiyenawa ,,mama eyata meka penwanna onnne ... thank u so much ..

    ReplyDelete
  7. no words to thank u , i have many people to educate abt this ...

    ReplyDelete