Tuesday 18 October 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 26 : නෙලුම් අල

                                                නෙලුම් අල


නියගයෙන් දාහයට පත් ගැමියා  වැස්ස වලාහක දෙවියන්ගෙන් වැස්ස ඉල්ලා කල කන්නලව්ව අලංකාර ගී පද සංකල්පනාවක් වූ අයුරු පිලිබඳ විසිතුරු  විග්රහයක් ඊයේ පෙරේදා කියවන්නට ලැබුනා.. 

සංගීත ආචාරිනී ශ්රීපාලි පට්ටිකාර මහත්මිය විසින් ලියවුනු මේ අලංකාර විස්තරයේ සිංහල සුභාවිත සංගීතය සඳහා යොදාගත් ජන ගිය ගැන මෙන්ම සඳහා යොදාගත් තාල වාදන භාණ්ඩ ගැනද අපූරුවට විස්තර කර තිබුනා.. මේ සමගම මගේ මතකයට ආවේ හා සමාන ජන කවිය ආශ්රව  රෝහණ බැද්දගේ  ශූරීන් කල  විශිෂ්ඨ නිර්මාණයක් .....

හෝ හෝ හෝ හෝ හෝ හෝ තම්දෙන තනා...
හෝ හෝ හෝ හෝ හෝ හෝ  තෙයි තානම් තනා ….
සසඳ සසඳ (දිය පල්ලේ තිබෙයි අල)// දෙයියන්නේ පිහිටයි.
සසඳ සසඳ (දිය මතුපිට තිබෙයි කොළ )// ගාලේ ලිහන්නයි...

මේ දෙපද මතුපිටින් බැලුවිට කෙනෙකුට සිතෙන්නේ  මඩේ පිපෙන නෙළුමේ වර්ණනාවක් ලෙස. භාවනාවකට සමාන මේ  ගීතයේ සැබෑ අරුත නිවන් අවබෝධ කරවීමට හැකි කමටහනක් වගෙයි.


ගැල් කරුවන්ගේ සිපදයක් වූ  මේ ගීතයෙන් සංසාර ගමනේ දුක සිහිකෙරෙන අතර , පෙර කල පින් දිය යට ඇති  අලයට  උපමා කරමින් නිර්වාණය මුතුකුඩයක් වන් වූ පුෂ්පයටද..ගැල පදවන තමන් මුතු කුඩයේ සෙවන සොයන  මාලුන්ටද සම කර ඇත..එපමණකින් නොනැවතී  ගැල අදින ගොනු ටිකිරාටද සංසාරෙන් ගැලවෙන්නට ඇති අවශ්යතාවය කියාපායි..

රස හඳුනන ගීත ලෝලීන්ට අමා බිඳක් වූ මේ ගිය ගැන බොහෝ කතා කල හැකි වුනත්, එය පසෙකලා මේ සූදානම යලි මගේ මාතෘකාවට පැමිණෙන්නැයි..ගීතයේ  පෙර කල පිනට උපමා කල , අත්තම්මාට නම්   නම් පෙර කල පිනට ලද දෙවියන් දුන් අහරක් සහ ඖෂධයක් වූ  රසවත් නෙලුම් අලයේ වර්නනාවයි මේ..

බැලු බැල්මට හිත පැහැදෙන, නිරාමිස සුව දෙන නෙලුම් මල් වට්ටියකින් බුදුන් පුදා  කුසල් වඩවා අකුසල් සමනය කර දරු පල අයදින තරුණ යුවති පතින්ට අත්තම්මා කිවේ ''නෙලුම් අල මාළුවක් එහෙම සතියකට දෙතුන් වතාවක් උයා බලපල්ලා දරුවනේ'' කියා. රාවනා රජ සමයේ සිට පවතින හෙළ වෙදකමේ දරු සම්පත් ලබාදෙන්නට නෙලුම් අලයෙන් කල ප්රතිකාර කට වහරින් පැවත සහ අත්  හදා බැලීමෙන් අත්තම්මලාට  ගැන තිබු අචල විශ්වාසය නිසයි.

මල බද්ධය නැති කිරීමට අසීමිත අත්  බෙහෙත් සංක්යාවක් දැන හුන් අත්තම්මලාගේ වට්ටෝරුවේ නොවැරැදුණු නෙලුම් අලය, අර්ශස් සහ ගුදයේ ඇතිවන වෙනත් අබාධ වලට  මෙන්ම හදවත් රෝගින්ටද, දියවැඩියා රෝගින්ටද බිය සැක නැතිව පිරි නැමුණු ඖෂධිය ආහාර වෙලේ මුල් තැනක් ගත්තා

වැදු  අම්මලාට කිරි එරවිමට අත්තම්මා දුන් අත් බෙහෙත් අතරට එක්  වුනු තවත් ආහාරයක් වන නෙලුම් අල ව්යංජනය නව යොවුන් යුවතියන්ගේ ආර්තව වේදනාවන්ටත් අපූරු අත්  බෙහෙතක්.

නිතර කැස්ස හෙම්බිරිස්සාව හැදෙන දරුවන්ටත් , ඇදුම සහිත වැඩිහිටියන්ටත් රසවත් නෙලුම් අල ව්යන්ජනයකින් ප්රතිකාර කිරීමට අත්තම්මා දැන උන්නා. ද්විතිය ගුණ ඇති නෙලුම් අලයෙන්   මල බද්ධය ඇති වුන්ට මල පහ කිරීමට මෙන්ම පාචනය ඇති අයට මල නතර කිරීමටද ඇති හැකියාව ඉතා අපූරුයි.

ශරීරය සිසිල් කිරීමේ ගුණ ඇති නෙලුම් අලය උෂ්ණාධික සිරුරු ඇති අයට ශරීරය සිතල කර සමබර තාවය පවත්වා ගැනීමට උපකාරී වන අතර, තදබල නියන් කාල වලදී පැතිරෙන ඇස් රෝග සහ වෙනත් අබාධ වලින් සිරුර සුවපත්ව තබා ගැනීමටත් උපකාරී වුනා . සම වියලිමෙන් සහ ආසාත්මික තාවයන් නිසා ඇතිවන දිගු කාලින සමේ රෝග ඇති අයට අත්තම්මලා නෙලුම් අල නොවැරදෙව්වේ  සමේ තෙතමනය රඳවා ගැනීමට නෙලුම් අලයට ඇති හැකියාව ඔවුන් හොදින්  දැන හුන් නිසා.


පෝෂක විශ්ලේෂණ වලදී විස්තර වන පරිදි නෙලුම් අලය යනු ප්රති ඔක්සිකාරක උතුරා යන සංයුතියක් අඩංගු, අතුරු ආබාධ කිසිවක්  නැති ලොව පවතින අනර්ඝතම ස්වාභාවික ඖෂධිය ආහාරයක්. විශාල පරාසයක පැතිරුණු විටමින් වර්ග ගණනාවකින්ද (සි, , කේ, බි වර්ගයේ-බි 6, තයමින්, යසින්, රයිබෝෆ්ලෙවින්), යකඩ, කැල්සියම්, පොස්පරස් ඇතුළු ලවන වර්ග ගණනාවකින්ද, මුහුදු මාළුන්ගෙන් ලැබෙන ඔමේගා 3 සග ඔමේගා 6 මේධ වර්ගද නෙලුම් අලවල අඩංගු වනවා.

යම් තරමකට ප්රෝටීන, සහ කාබෝහයිඩ්රේට අඩංගු වුවද වැඩිපුර ඇති ශාකමය තන්තු සහ ජල සංයුතිය හේතුවෙන් කැලරි ප්රමාණය ඉතා ස්වල්පයක් අඩංගු වන ආහාර ගොඩට වැටෙන නෙලුම් අලය නිසාම පෝෂණ ඌනතාවයක් නැතිව ශරීරයේ බර අඩු කර ගැනීමට උදව් වන කදිම ආහාරයක්.

වසර දහස් ගණනක් පුරා ඖෂධිය භාවිතයට ගත් නෙලුම් අල දේශීය වෙදකමේදී සර්ප, දිවි මකුළු  සහ කෘමි විෂ සුව කිරීමට වාගේම පණු ආසාධන ප්රතිකාර පිණිසත් යොදාගෙන තිබෙනවා

දරු පල ලබා දීමටත්, ලිංගික බෙලහීන තාවය නැති කිරීමට පුරුෂයින්ට කල ප්රතිකාර අතරත් මුල් තැන ගත්  නෙලුම් අල මානසික ආතතිය අඩු කිරීමට යොදන ඉස්ස  කුඩිච්චි සඳහා මුල් තැනට යොදාගෙන ඇති ඖෂධයක්කාන්තා රෝග සුව කිරීමට, රුධිර පිඩනයට මෙන්ම දියවැඩියා සුවයටත් දේශීය වෙදකමේ නෙලුම් අල සහ ශාකයේ සියලු කොටස් භාවිතා කෙරෙනවා.

ආයුර්වේධයේදී නෙලුම් අල ප්රධාන වශයෙන් භාවිතා වන්නේ රුධිරය පිරිසිඳු කිරීම, රුධිරගත අසාමාන් රෝග, ආහාර මාර්ගයෙන් රුධිර වහනය වැලැක්වීම වැනි රුධිරය හා සම්බන්ධ රෝග සුවයට.

මිට අමතරව පණු ආසාධන, පුස් වර්ග නිසා සෑදෙන ආසාධන, වසූරිය, ලාදුරු, වැනි විශාල පරාසයක පැතිරුණු වයිරස බැක්ටීරියා ආසාදන වලට ප්රතිකාර කිරීමටත් නෙලුම් අල  මෙන්ම ශාකයේ අනෙක්  කොටස් භාවිතා කෙරෙනවා

තව දුරටත් විස්තර කරනවානම් ස්වසන සහ ආහාර මාර්ග පද්ධතියේ රෝග  මෙන්ම කාන්තාවන්ටත් පුරුෂයින්ටත් ප්රජනන පද්ධතියේ සෑදෙන රෝග   පිළිකා සහ තවත් මෙකි නොකී බොහෝ රෝග සුව කිරීමටත් නෙලුම් ශාකයේ කොටස් යොදා ගැනෙනවා.

සිදුහත් කුමාර පිළිසිඳ ගැනීමෙන් ඔබ්බට දිවෙන ඉතිහාසයක් ඇති නෙලුම් වර්ග ලොව වටා පැතිරුණු වර්ග සියයකට අධික ප්රමාණයක් තිබෙනවා. වසර දහස් ගණනක් මුළුල්ලේ විවීධ සංස්කෘතීන් වල ඖෂධිය සහ පූජනීය කටයුතු වලට ගැනුණු නෙලුම් ශාකය පිලිබඳ විද්යාත්මක හදාරුම් බොහොම මෑතක් වනතුරු සිදු කර තිබුනේ නැහැ.

පර්යේෂණ දත්ත වලට අනුව නෙලුම් අලයේ ඇති පොටෑසියම් වල පොහොසත් බව හදවත් පේශියේ සහ රුධිර නාල වල පැවැත්ම මනාව හසුරුවා , සිරිරේ දියර සමතුලිතතාවය පවත්වා ගැනීමෙන් අධි රුධිර පීඩනය වලක්වා හදවත නිරෝගිව රැක බලා ගන්නවා.


නෙලුම් අලයේ ඇති අධි ප්රති ඔක්සිකාරක නිසා ශරීරය පිරිසිඳු කිරීම, පිළිකා වැලකීම, රුධිර ශෝධනය කර නිරෝගිතාවය පවත්වා ගැනීමට හැකි බව ඔවුන් සහතික කරනවා

මිට අමතරව නෙලුම් අලයේ ඇති ක්ෂුද්රජිවින්ට  විරුද්ධ හැකියාව නිසා ඕනෑම පද්ධතියක ඇතිවන බැක්ටිරියා , වයිරස හෝ දිලිර ආසාධනයකට විරුද්දව ක්රියා කිරීමට හැකි  අතර තව දුරටත් ඔවුන් පවසන්නේ නෙලුම් අල වලට  රුධිර සිනි මට්ටම අඩු කිරීමටත්, පවතින ඉන්සියුලින් වල ගුණාත්මක භාවය වැඩි කිරීමටත් අපූරු හැකියාවක් ඇති බවයි.

ලොව වටා සූප වේදීන්ගේ හද දිනා ඇති මේ මහඟු ආහාරය ජපන්, චීන, කොරියාව වැනි රටවල සුඛෝපබෝගී හෝටල් වලදී අධි මිල ගෙවා දිව සහ ඇස පිනවන ලෙස ලබා ගැනීමට පුළුවන්

චීනයේ සහ ජපානයේ වේලු නෙලුම් අල ඉඟුරු සමඟ ඔසු පැණක් ලෙස පිළියෙළ කර පානය කරන්නේ නිරෝගී බව පවත්වා ගැනීමට

කයිදම් බතට, දානයට නොවැරැදුණු නෙලුම් අල ව්යංජනය අපට නම් එදා නිතර රස බලන්නට ලැබුණු අමතක නොවන ව්යන්ජනයක්

කොස් ඇට හෝ කජු මද එක්කල නෙලුම් අල ව්යංජනය මෙන්ම හාල්මැස්සන් එක්කර සෑදූ නෙලුම් අල බැදුම  හෝ අමු සම්බෝලයේ රස අදනම්  සිහෙනෙන් දිව ගෑ සුවඳක් වාගෙයි.

මෙතරම් රස ගුණ පිරි නෙලුම් අලය අද වනවිට අපේ රටේදී  ආහාරයට ගැනීමේ හැකියාව ගැන සාධාරණ බියක් ඇති වී තිබෙනවා

දශක ගණනාවක්  පුරා පාලනයක් නොමැතිව භාවිතා කල කෘමි නාශක සහ වල් නාශක  වල අතුරු පලයක් ලෙස අපේ රටේ බොහෝ වැව්  ගංගා රොන් මඩේ රසදිය, ඊයම් වැනි බර ලෝහ තැන්පත් වී ඇති බවට පවතින විශ්වාසය පහසුවෙන් ඉවත දමන්නට හැකියාවක් නැහැ.

ඔබේ වටපිටාවෙන් දූෂණය නොවූ පොකුණකින්, අගලකින් හෝ මේ අමිල ඖෂධය පරිභෝජනයට ලැබේවායි පතමින් අදට නවතිමි.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරව හිමිවේ)


9 comments:

  1. වැවු වගෙ ජලය ගලා නොබසින තැන්වල හැදෙන නෙළුම්, කොහිල වගෙ අලවල තමයි බැර ලෝහ තියෙන්න වැඩිපුර ඉඩ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම නම් විශ්වාස කරනවා ඒ විධියට දූෂණය නොවුණු කුඩා පොකුණු වගේ ඒවා අදටත් අපේ රටේ ගම වල හොයාගන්න පුළුවන් ඇති කියලා.

      Delete
    2. මං කියන්ඩ ආවෙත් ඒකමයි ,

      ඒ උනාට ගැඹුරු තෙලේ බැදලා
      ඒකට කතුරු මුරුන්ගා කොල බැදලා
      කරපිංචා බැදලා
      රතු ළුණු බැදලා
      ලුණු , මිරිස් , ගම්බිරිස් ටිකක් කලවං කරලා
      ගත්තහම ආයේ ඉතින් ලොවෙත් නැ.

      බත් එක්කත් එහෙමයි

      අරවටත් එහෙමයි

      බ්ලොග් යාළුවොනං නිකනුත් කෑවා

      Delete
  2. ඒත් නෙළුම් අල බැරලෝහ වගේ ඒවා උරාගන්නවා මිසක් මුදා හරින්නේ නෑ කියලා දොස්තර කෙනෙක් කියලා තිබුණා. ඒ නිසා අපි කෑවත් ඒවා ශරීරයට මුදහැරෙන්නේ නැහැලු. ඇත්තද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම නොළුම් අල කඩෙන් අරන් දැනටත් කනවා.

    ReplyDelete
    Replies
    1. අවන්කවම කියනවානම් ඔබේ පැනයට පිළිතුරු දෙන්නට හැකි පර්යේෂණ වාර්තාවක් මන් මේ වනතුරු කියවා නැහැ. ඒ නිසා මට එය හරි හෝ වැරදි යයි කියා කියන්නට බැහැ . වැඩිදුර තොරතුරක් දන ගතහොත් ඒ බව මේ ලිපියට එකතු කරන්නම්. මමත් අදටත් ලංකාවට ගියාම නොවරදවා එක වරක් හෝ රස බලා එන ආහාරයක්..

      Delete
    2. ඒකනං පිස්සු කතාවක් ...මං මොකවත් කියන්නේ නැ , රංදුලාම ටිකක් හිතන්න

      Delete
  3. http://librepo.cea.lk/bitstream/handle/1/10811/S-2007-Jan-14-Silumina-03.pdf?sequence=1&isAllowed=y
    මේ නෙළුම් අලවලින් හානියක් නෑ කියලා දාපු ලිපියක්. අනේ මම ඇත්ත නම් හරියටම දන්නේ නැහැ රේණුකා.

    ReplyDelete
    Replies
    1. මේ මොන කරුමයක්ද ලින්ක් එක ක්ලික් කරන්ඩත් බැ , ලින්ක් එක කොපි කරන්ඩත් බැ ...අනේ මන්දා ..

      Delete
  4. ලිපිය බොහොම වටිනවා.

    ReplyDelete