Wednesday 26 October 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 27: මව්කිරි වඩවන හෙළ ආහාර

 කිරි අම්මාවරු දනට වඩිනවා -කිරි සුවඳයි         මුළු ගම්මානේ...........





ඉර පායන්නට පෙර ගම මැදින් පෙලට ඇදෙන සුදෝ සුදු වතින් සැරසුණු දනට වඩින කිරි අම්මාවරුන්ගේ සන්සුන් ගමන... 

සමඟ පෙළ ගැසුණු මතක සටහනේ  කිරියා ඇතුළු  රසවත් කැවිලි වල සුවඳත් , පොල්තෙල් පහනෙන් තැවෙන බුලත්කොළ කෙසෙල් කොළ වල අපූර්ව සුවඳත් සමඟම මනස්කාන්ත පත්තිනි කවි සහ තුන් සරණ කවි හඬ හරියටම සුන්දර සිනමා සිත්තමක් සේ අදටත් හදවතේ නිදන් වෙලා..


 සත් පත්තිනි දෙවියනි ඔබ මෙන්න වඳිනවා
ඔබට මෙතන මල් යහනක්තබා තිබෙනවා
අප වෙත අනුකම්පාවෙන් දිවැස්බලනවා
සත් පත්තිනි දෙවියනි මල් යහන් වඩිනවා ....


එක්  ඇත් පැටවකු ලැබුනාම ඇත්  රැලටම කිරි එරෙන්නා සේ දරු උපතක් සිදු වූ විට මුළු ගමේ අම්මාවරුන්ට විලි වේදනා දැනුනු කාලයක කිරි අම්මාවරුන්ගේ  දානයට ලැබුනේ බොහොම වැදගත් තැනක්.. දරුවෙකු ලැබෙන්නට ඉන්නා විට පමණක් නොවේ දරුවෙකුට 'දෙවියන්ගේ ලෙඩ ' යයි සම්මත රෝග සෑදුනු විටෙක දරුවා පත්තිනි මෑණියන්ට බාර කර සුව වීමෙන් පසු සිදු කෙරෙන මේ දානයට මවු වරුන් සොයා ගැනීම සිදු කෙරුනේ බොහෝ පරිස්සමින්..


 සිල්වත් ගුණවත්, කේලාම් නොකියන, පති භක්තිය ඇති, දරුවන්ට කිරි දුන් මවු වරුන් සත් දෙනෙකුන් උදෙසා සිදු කෙරුණු කිරි අම්මලාගේ දානය වසර සිය ගණනක  සිට සිදු කෙරුනා සේ අදටත් සාම්ප්රදායිකව බොහෝ පළාත් වල සිදු කෙරෙනවා..
සම්ප්රදායට අනුව නම් දරුවාට පිටිකිරි  දුන් මවු වරුන් මේ දානයට සුදුසු වන්නේ නැහැ..නමුත් පිටිකිරි නුදුන් මවු වරු අද කොහෙන් හොයන්නද??? 

''බබාට කිරි නැහැනේ..පිටි දෙන්නම වෙනවා.''  ''අන්න එස්. එම්. ඒ. ආයිත්  ගනන් ගිහින්...'' අපට සුපුරුදු මැසිවිල්ලක් මේ..

කිරි දෙන්නට අම්මා සූදානම් කරන්න ඕනේ ගැබ්බර වූ දවසේ ඉඳන්මයි..මේ එදා අත්තම්මලාගේ අදහස..

දොලදුකේදී සිට දරුවා ඉපදී වසර දෙකක් පමණ වන තුරු කිරි බරවී සිටින්නට හැකි හෙළ ඖෂධ සහ ආහාර  වට්ටෝරු  ඔවුන් කොතරම්  අපූරුවට දැන සිටියාද කියා හරියටම උදාහරණයකට  කිව්වොත් අද ඉන්නා අත්තම්මලා මෙගා ටෙලි නාට් වල කොටස් කට පාඩමින් දන්නවා වගේ ….අද අත්තම්මලාට අමතක වුනු-එදා අත්තම්මලාගේ කිරි එරවිමේ කලාවයි අද අත් බෙහෙත් තුලින් ඔබ වෙත විග්රහ කෙරෙන්නේ..

කිරි අඟුණ  සහ තිත්ත අඟුණ:

ගමේ ගොඩේ  දරුවෙක් ලැබෙන්න ඉන්නා හෝ දරුවෙකු ප්රසූත කල මවකට  වට පිට කාගේ ගෙදරින් වුනත් රසට හැදෙන කෑම වේලේ  මුල් පංගුව බෙදෙන අතීතයක් අපට තිබුනේ..වැඩිහිටි කාන්තාවන්  සඳහා ගුණ ආහාර එළවලු තෝරා ගැනීම සැලකුවේ තමන්ගේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙසට..අහුවෙන ඕනෑම කෑමක් නොව ගැලපෙන ගුණ ආහාර පමණක් තෝරා පිළියෙළ වුනු මෙවන් බත් පතක නොවරදුනු ආහාරයක් තමා අඟුණ කොලේ..අගුණ යයි කීවාට බොහෝ ගුණ ඇති අඟුණ කොළ සම්බෝල, හෝ මැල්ලුමට කලවමට එකතු කිරීමෙන් කල ගණන් කිරි එරවා ගැනීමට ඔවුන් සමත් වුනා..

සිංගප්පුරු කොළ නැතහොත් ජපන් බටු කොළ:


සියවස් ගණනක් මව්කිරි වඩවන්නට අත්තම්මලා යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු කොළ...මේ කොලයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කල විද්යාතමක්  පර්යේෂන වලින් පවා තහවුරු කර තිබෙනවා..කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා  කොළ  පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්යංජනයට එක්කර ගත හැකි රසවත් ව්යන්ජනයක්..අමුවෙන් ආහාරයට ගැනීමෙන් අතුරු ප්රතිපලයක් ලෙස ස්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල වලට එක්කිරීමෙන් හෝ යුෂ පානයෙන් වලකින්න ..

කොස්:
ගස යටින් ගියත් කිරි එරවෙන කොස් ..ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්නට පුළුවන්.. එහි ඇති වාතය ඇතිකිරීම නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු ව්යංජනයට එක්කරන්න.

කිරිහැන්ද :


කිරි දෙන මවු වරුන්ට අත්තම්මලා නොවරදවූ තවත් අගනා පලා වර්ගයක්..කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ලපටි දළු ව්‍යංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර රසවත්ව පිස ගත හැකියි..




කරවිල: 

රත්තරන් ඇති සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. කිරි තිත්ත වේ යයි කතාවක් ඇතත් එහි විද්‍යාත්මක සත්‍යතාවයක් මේ වන තුරු ඔප්පු කර නැහැ.. 

කෙසෙල් මුව:



කිරි දෙන මවට කිරි එරවිමට පමණක් නොවේ ඇගේ මල බද්ධය නැති කිරීමට, ප්රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා  ආහාරයක් කෙසෙල් මුව..


කුරක්කන්:

 මවු කිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති යකඩ බහුල නිසා ප්රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා  නිවන සිත කය පිනවන අපූරු ආහාරය කුරක්කන්..කැමති ලෙස ආහාරයට ලබා දෙන්නට පුළුවන්..කැඳ, රොටි, පිට්ටු , තලප යනාදී වශයෙන්.

කොල්ලු:

මවු කිරි වඩවන්නට තවත් අපූරු හැකියාවක් ඇති ආහාරයක්..දවසේ ඕනෑම ආහාරයට එකතු කල හැකි දවස පුරා කිරි වැගිරෙන සේ කිරි එරවන අගනා ආහාරයක්.


හබල පෙති
කිරි එරවන්න අත්තම්මා භාවිතා කල අපූරු උදැසන ආහාරයක් තමා හබල පෙති..කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට එක කරන්න කිරි උතුරාවී..


තැම්බුම් හොදි :

දරු ප්රසුතියෙන්  පසු අම්මලාට එදා දුන් පළමු ආහාරය තැම්බුම් හොදි. ප්රසුතියේ වෙහෙස නිවීම, තුවාල ඉක්මනින් සුව කිරීම, ප්රසුතියෙන්  පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, මල බධ්ධ් නැති කිරීම සහ අඛණ්ඩ කිරි ශ්රාවයක් පවත්වා ගැනීමට එරී එරවිම උත්තේජනය යන ගුණාංග යුතු තැම්බුම් හොද්ද සුලුවෙන් තකන්න එපා.. කිරි මදි නම් සතියකට වරක් වත් කිරි දෙන කාලයේ තැම්බුම් හොද්දක් මවගේ ආහාරයට එක්  කරන්න..

සූදුරු:
කිරි එරවිමේ අපූරු බලයක් ඇති සූදුරු කිරි එරවිමට අමතරව තවත් බොහෝ සෞක්යමය ප්රති ලාභ ගෙන දෙනවා.සතියට දෙතුන් වතාවක් සූදුරු තැම්බූ වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න..කිරි වැගිරේවි..

උළු හාල්

මව් කිරි වඩවන්නට උළුහාල්  තරම් අගනා  තවත් ඖෂධයක් ඇත්දැයි ඔබටම සිතේවි..රාත්රියේ උළුහාල් අහුරක් දෙකක් පෙගෙන්නට  දමන්න..උදෑසන තම්බා පෙරා පානය කරන්න..නිසි ප්රතිපල ලැබෙන තුරු දිනපතා සිදු කල හැකි මහඟු ප්රතිකාරයක්..මවු කිරි වැඩීමට  අමතර තවත් බොහෝ සෞක්යමය ප්රතිලාභ සහිතයි.

මහදුරු :
සූදුරු මෙන්ම අගනා ප්රතිලාභ ඇති මහදුරු වලට කිරි එරවන්නට ඇත්තේ විසල් හැකියාවක්..මහදුරු දෙමිටක් සිසිල් වතුරේ පොඟවන්න ..පෙරා ගත ජලය දවසට දෙවරක් අවශ්යතාක් කල් පානය කරන්න..

කුරුඳු:
කුරුඳු වලටත් ඇත්තේ කිරි වැඩවිමේ  මනා හැකියාවක්. පිරිසිඳු කුරුඳු ජලයේ දමා පෙරා පානය කරන්න..නැතහොත් තේ කෝප්පයට කුරුඳු එකතුකර මද වෙලාවක් තබා පානය කරන්න..


කොත්තමල්ලි:
කලින් කි සුදුරු මහදුරු මෙන්ම තුනපහට අයිති කොත්තමල්ලි වලටද ඇත්තේ කිරි එරවිමේ ප්රභල හැකියාවක්.. කොත්තමල්ලි තැම්බූ වතුර බීම  ප්රමාණවත් කිරි ශ්රාවය වර්ධනය කර ගැනීමට.

හොඳින් තුනපහ දමා ආහාර පිසිමම මේ අනුව කිරි එරවන්නට හොඳටම ප්රමාණවත් වේවි..නමුත් මාස හත අටකට කලින් දෙහිවල හන්දියේ විලියම් මහත්තයාගේ කඩෙන්  ගෙනා ඒවා නොවෙයි..ඊයේ පෙරේදා ගෙදරදී හදා ගත් තුනපහ නම් පමණයි..මේ තුනපහ වර්ග කොටාගෙන  පැය24කින් පසුව වියකි යන්නට පටන් ගන්නා ගුණ පැය 72 ක් පමණ වන විට සම්පූර්ණයෙන්ම නැති වී යනවා.

සුදු ළූණු.

ප්රසුතියෙන් පසු පළමු දින කිහිපයේදී අත්තම්මා  මවකට නොවැරදවූ ආහාරයක් ගිනි අඟුරු වල පිලිස්සු සුදුලුනු කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්රතිලාභ අඩංගු මේ ප්රතිකාරයේ මූලික පරමාර්ථ අතර මවු කිරි ශ්රාවය උත්තේජනය කිරීම සහ පවත්වා ගැනීමත් අඩංගුයි. කිතුල් හකුරු වලද මවු කිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සදනවා..


කිරි දෙන මවට සාදන ව්යංජන වලට සුදු ළූණු එක්කරන්නට අමතක කරන්නට එපා..සුදු ලුණු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුලූනු, උළුහාල්සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බිමෙන් කිරි කල හතක්  එක වරුවකදී පොවන්නට හැකි බවයි අත්තම්මා  කිව්වේ..

තල:


තල ඇට වලටත් කිරි එරවිමට ඇත්තේ විසල් හැකියාවක්..කිරි එරවන්නට තල ඇට යොදා ගත්තේ බහුලවම එදා උතුරු පළාතේ ද්රවිඩ අම්මලා..අතුරුපසට කිතුල් හකුරු දාපු රසබර තල කැරැල්ලක් කා කිරි එරවා ගන්න හැකි නම් අපේ අම්මලා ඊට අකමැති වෙන එකක් නැහැ.


පොල්:
අලුත් කැඩූ අමු පොල් වලට කිරි එරවන්නට ඇති හැකියාව අපූරුයි. දරුවෙකු ලැබුණු අම්මලාට අලුත් පොල් සමඟ මුන් ඇට, කඩල , අල බතල, කොස් වැනි විවධ වර්ගයේ ආහාර එදා ලබා දුන්නේ මේ ප්රති ලාභයඅත්  කර ගන්නටත් එක්කයි.

බතල:

තද රතු පැහැති බතල  කිරි එරවන තවත් දේශීය ආහාරයක්..උදැසන ආහාරයට හෝ දවල් ව්යංජනයට, පොල් සමඟ එක්කර ගුණ වැඩි කර කිරි එරවන්නට රස බර අහරක්..



රාජ අල:
තද දම් පැහැති  රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ අල වර්ගයක්..උදෑසන ආහාරයට කදිමයි.

ඉඟුරු:


දහසක් ගුණ ඇති ඉඟුරු වල තවත් අපූරු ගුණයක් තමා මව් කිරි වැඩවීම..අන් ආහාර ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බිමෙන් කිරි වැඩි වේ..



රතු ළූණු ;
අමු රතු ළූණු වල කිරි එරවිමේ අපූර්ව ශක්තියක් තිබෙනවා.. දිනපතා ආහාරයට අමුවෙන් ගන්නා එළවලු සලාදයට ලුණු මිරිසට රතු ලුණු එක් කරන්න..කිරි එරවිම පමණක් නොව තවත් අගනා ආයු වඩන ගුණ ඇත..

මුරුංගා:


සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න..මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක්  කරන්න..මුරුංගා වල ඇති කිරි එරවිමේ ප්රභල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්..ප්රතිපල ඔබටම පෙනේවි..

අමු පැපොල්:
අමු පැපොල් වලට ඇති කිරි එරවිමේ හැකියාව ඔබ පුදුම කරාවි.මැල්ලුමක් ලෙස හෝ කැකිරි/වට්ටක්කා ආකාරයට පිස ආහාර වේලට ඇතුල් කරන්න.

වට්ටක්කා:


වට්ටක්ක වලට ඇත්තෙත් කිරි එරවිමේ මහඟු හැකියාවක්..ඔබම අත් හදා බලන්න..






ඉදුණු කොටදිඹුලා ගෙඩි :

අත්තික්කා වලට සමාන මේ පලතුර ඉඳුණු ගෙඩි දරුවන් ලැබුණු අලුත ආහාරයට ගැනීමෙන් මවු කිරි වැඩි වන බව පැරණි සිංහල පොත පතෙහි සඳහන් වී තිබෙනවා..

නෙලුම් අල:
 දැනට වසර 20-30කට පමණ පෙර නම් නෙලුම් අල මවු කිරි වඩවා ගැනීමට ඉවහල් කර ගත්  ඖෂධිය රසවත් එළවළුවක්. (දැනට රට පුරා ඇති වැව් පොකුණු රසායන පොහොර මගින්  දුෂණය වී ඇති නිසා අද වන විට නෙලුම් ආහාරයට ගැනීමේ සුදුසුකම පිලිබඳ සැබෑ ගැටළුවක් මතු වී ඇත).





මිට අමතර රතු හාල්, මුන් ඇට, මෙනේරි වැනි අපේ ධාන්  වර්ග වලටත් කිරි එරවිමේ මහඟු හැකියාවක් තිබෙනවා.

 සරල සිංහල ගොඩේ  ආහාර වේලකට හුරු වන්න..

එළවලු දෙකක් පමණ සමඟ කොළ වර්ගයක්.මුහුදු මාළු හෝ අව්වේ වේලු කරවල වැනි ප්රෝටීන වර්ගයක් අඩංගු රතු බත් වේලක්..ගමේ ගොඩේ ඉදුණු පලතුරු, ඇති වන්නට  පිරිසිඳු ජලය පානය කිරීම කිරි එරවන්නට ප්රමාණවත්..කිරි එරෙන්න මස් කෑම අවශ් නැහැ.

  පිටරටින් ගෙන්වන විවධ පිටි වර්ග නෙස්ටමෝල්ට්..හෝර්ලික්ස් වගේ දේවල් අවශ්යත් නැහැ. ඒවායේ අඩංගු වන්නේ ඉක්මනින් දිරවන සිනි සහ කෘත්රිම රස වර්ග පමණයි..මද පමණකට ලැබෙන පෝෂක වර්ග වෙනුවෙන් එවන් ආහාර සඳහා නිරපරාධේ මුදල් ගෙවන්න එපා..

කොත්තු රොටි සහ ෆ්රයිඩ් රයිස් වලට කිරි එරවිමට හැකියාවක් ඇත්නම් අද අපේ රටින් කිරි පිටි තුරන් කර දැමීමට හැකි වන බව ඒකාන්තයි..දරුවා බඩට දා සිට කොත්තු රොටි, පීසා, රස කාරක දැමු ෆ්රයිඩ් රයිස්, පැරිස් බදාම දැමු ආප්ප කන දොළ දුක් උපදින අපේ අම්මලාට දරුවාට දෙන්න කිරි කඳුලක් නැතිවීමත් අරුමයක්ද???

 විශේෂ ස්තූතිය :මාතර බඹරැන්දේ  සරත් කුමාර යූ. වඩුගේ මහතාට . එතුමාගේ ලිපියකින් කිරි මව් වරුන්ගේ දානය ගැන මතක අලුත් කර ගත්තෙමි.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්


4 comments:

  1. මව්වරුන්ට, මව්වරු වෙන්න ඉන්නා අයට අත්පොතක් තරම් හොඳ ලිපියක්.

    ReplyDelete
  2. Sumudu Rajapaksha26 April 2017 at 00:42

    Watinaama lipiyak..bohoma pin..

    ReplyDelete
  3. Godak pin watina deyak meka

    ReplyDelete
  4. Godak pin oyalata.mata godak wedagath deyak dana gatta.

    ReplyDelete