Thursday 19 January 2017

අත්තම්මාගේ අත් බෙහෙත් 31 :තේ කොළ (Tea)

              තේ කොළ  දින දින වැඩි වැඩියේ
              කෑමෙන් සිරුරට සැප වැඩියේ.....



සුද්දගේ රටට ආදායම ගන්න අපේ වන සම්පත විනාශ කරලා රටට හඳුන්වා දුන් පානයක් වුනත්, තේ මේ වන විට අපේ සංස්කෘතිය තුලට කිඳා බැහැල.. විශේෂයෙන්ම පිට රටකදී රටේ නම කිව්වාම අහන ඊළඟ ප්‍රශ්නය තමයි උඹලා නේද ලෝකෙට හොඳම තේ දෙන්නේ කියලා. වෙලාවට විරිත්තලා ආඩම්බර පාටක් ගන්නවා හැර තේ අපේ නෙමෙයි කියලා මොකෝ ඉතිං මිනිහා එක්ක ගහ ගන්න යෑ..

මෙච්චර කාලයක් නොදන්නා කමට තේ බිබී හිටියට තේ වල ගුණ ලැබෙන්න නම් තේ කොළ කන්න ඕන බව හා හා පුරා දැන ගත්තේ අද..

ඒක අහල බිබී හිටිය තේ කෝප්පෙත් පිටි උගුරේ ගියා වුනත් කිව්ව පලියට පිළිගන්න න්‍යායට පටහැණි මන් දුවලා ගිහින් හමු වුනා තේ වත්තක අයිතිකරුවෙක්..

මල හත් ඉලව්වයි!!!! 

තේ කොළ කන්න පුළුවන්ලු බොලේ..සම්බෝල හදලා, උයලා , මලවලා.. හැබෑටම තේ බොන්නේ නැතිව කෑවනම් අපිට ලැබෙන ප්‍රතිලාභ මොන වගේ වෙයිද

මුලින් බලමු අපි හැමදාම බොන තේ කෝප්පේ මොනවද අඩංගු කියලා..

දියවැඩියාව හැදිලා දිවංගත වෙන තරමට සිනි කිරි නොදාපු හොඳ කහට තේ කෝප්පයක තියෙන ගුණ පන මෙන්න මේ වගේලු.  

සෝඩියම්, පොටෑසියම්, ෆොස්පරස්, මැග්නීසියම් යන ලවන වර්ග යහමින්, ස්වභාවිකව ශරීරයට ලබා ගත යුතු ෆ්ලෝරයිඩ් අම්බානක ප්‍රතිශතයක්, සමඟ ෆ්ලෙවනොයිඩ්කැටෙචින්, පොලිෆෙනොල් යන ප්‍රතිඔක්සිකාරක සමඟ පාන් කියාගන්න බැරි වෙලාවක වුනත්  අපිව කෙලින් හිටවලා තියන කැෆේන්.  

දැන් දැන් වැඩි දෙනා ඉල්ලන  Green Tea  වල ඊට අමතරව විටමින් බී 6, රයිබිෆ්ලෙවින් සහ තයමින් තිබෙනවාලු.. 

 "ග්‍රීන් තේ" වල ප්‍රතිඔක්සිකාරක  සංයුතිය  කහට කෝප්පෙට වඩා වැඩි නිසාලු Green Tea මේ දවස්වල "හයිවේ එක්ස්ප්‍රස්" වගේ ජනප්‍රිය වීගෙන යන්නේ..

අපි සාමාන්‍යයෙන් බොන කහට කෝප්පේ හදාගන්න කළු තේ කොළ අධි තාප උඳුන් වල නැවත නැවත වියලෙන විට එහි ඇති ප්‍රතිඔක්සිකාරක යම් ප්‍රතිශතයකට විනාශ වෙනවලු..

නමුත් Green Tea හදන්නේ නෙලාපු ගමන් තේ කොළ වාෂ්පයෙන් වියලාගෙන කොළ පාට විනාශ නොවෙන්න.   සමඟම අර මුලින් කිව ප්‍රතිඔක්සිකාරක රැකෙන විධියට. නිසා තමයි Green Tea  වැඩි හොඳ බව කියවෙන්නේ..

හැබැයි මේ සේරටම වඩා ගුණදායක බව පවතින්නේ විටමින් සි බහුලව අඩංගු  අමුවෙන් නෙලා ගත්තු තේ දල්ලේ

හින්දා අමු තේ දළු කන්න පුළුවන් නම් තේ බොනවාට වඩා
බොහොම වාසිදායක වේවි..

මුලින් සඳහන් කල තේ වතු හිමි මගේ මිත්‍රයා සඳහන් කල විධියට බත් වෙනුවට තේ කොළ කන්න හිතුනොත් මෙන්න මේ විධියටලු හදා ගන්නේ..

අමු තේ දළු සම්බෝලය : හීනියට ලියලා පොල්, රතුළුණු, දෙහි, උම්බලකඩ එහෙම දාලා

තේ දළු ව්‍යංජනය :කැබැල්ල දළු පිළියෙළ කල විධියට යන්තම් උණු ලුණු දියේ දාලා මිරිකලා මිටිකිරි ඩිංගක් දාලා ගමු.

කලවම් පලා මැල්ලුමතේ දළු, කොස්කොළ, ක්‍රෝටන් සහ ඔබ කැමති ඕනෑම පලා වර්ගයන් හීනියට ලියා  පොල් දා මලවා දෙහි යුෂ එක්කරන්න.

තේ දළු කෑම අපට හුරු නැති වුනාට මුලින් තේ සොයා ගත්තු චීනයේ නම් තේ ආහාර පිසුමට බහුලව භාවිතා කරන අමු ද්‍රව්‍යයක්ඔවුන් බිස්කට්, කේක් , අයිස් ක්‍රීම්  වැනි පැණි රස ආහාර වලට  තේ දළු ඇතුලත් කර රසය වගේම තේ දල්ලේ ඇති ගුණ සහ කැෆෙන් ආහාර වලට එක්  කර ගන්නවා

අපි කෙසෙල් කොලය භාවිතා කරන ලෙසට ඇතැම් ආහාර තේ කොලයේ ඔතා පිස ගැනීම ඔවුන් අතර  ජනප්‍රියයි. සැමන් මාළු මේ අතර මුල් තැන ගන්නවා. වගේම ඇතැම් මස් වර්ග පිසින්නත් තේ දළු ඔවුන් යොදා ගන්නවාආදී කාලේ මස් මාංශ පිසින්න අපි ගංජා කොළ තුනපහක් ලෙස එකතු කල ආකාරයට

තේ දළු එකතු කර පිසින විශේෂ බත් වර්ගයක් වාගේම පෙයාස් වැනි ඇතැම් පලතුරු තේ කොළ සමඟ තම්බා ආහාරයට ගැනීමත් චීනයේ ප්‍රසිද්ධයි.

සුද්දන් ලංකාවට තේ හඳුන්වා දුන්නට පසුව කැෆේන් වැඩි කම නිසා අපේ මිනිස්සුත් තේ වලට බොහොම ඉක්මනින් ඇබ්බැහි වෙලා බෙලිමල්, රණවරා වගේ වටිනා කියන අපේ ඔසු පැන් අභාවයට ගියා..  කොහොම වුනත් තේ ඇබ්බැහිය තුලිනුත්  දැන හෝ නොදැන අපට ගුණ පල බොහොමයක් ලැබිලා තියෙනවා..

අතර මුලටම එන්නේ හදවතේ සහ රුධිරනාල වල සෞක්‍යය පවත්වා ගැනීමත්, දියවැඩියාව වැලැක්වීම හෝ රෝගය  ඇති  අයගේ රුධිර සිනි මට්ටම අඩු කිරීම..

නමුත් මේ ප්‍රතිලාභ ලැබෙන්නේ   සිනි කිරි නැතිව තද කහට  තේ බිමෙන් පමණයි. ලා කහට අධි සිනි සහ අධි කිරි පිටි  සහිත අද භාවිතා වන තේ කෝප්පය මේ ගුණ මකා දියවැඩියාව ඇති කිරීමට අමතර හේතුවක් වෙනවා. 

ඒ හා සමානව ඇති ශරීරයේ බර අඩු කිරීම, පිළිකා වැලැක්වීම, ධුලකහරණය වැනි අනෙකුත් ගුණත් තේ කෝප්පයේ අව භාවිතය නිසා සම්පුර්ණයෙන්ම නැති වී යනවා. 

රුපලාවන්‍ය ගැන උනන්දු වෙන ගැහැණු ළමයින්ට සුබ ආරංචියක්.


සමට හිතකර ගුණ ඇති තේ කොළ යොදාගෙන කෙරෙන රුපලාවන්‍ය නිෂ්පාදන බොහොමයි. ඒ අතර තේ සබන්, මුනේ ගාන ක්‍රීම් වර්ග වාගේම, සමේ  ගාන තෙල් වර්ග, ෂැම්පු වර්ග  තේ මුණු ආවරණ සහ මේක් අප් නිෂ්පාදනත් තිබෙනවා.



අනුන්ගෙන් අපට ලැබුන තේ  වලින් අත්තම්මලා  කල අත් බෙහෙතුත් නිමක් නැහැ

වැසි කාල වලදී තදබල උගුරේ ආසාධන සමඟ හැදෙන සෙම්ප්‍රතිශ්‍යා උණට තද රස්නෙන් ඉඟුරු දැමු තේ කෝප්පය සෙම ගැලවිලා  සහනය දෙන, ආසාධනය  සුව කරන  දිව්‍ය  ඖෂධයක්

ආර්තව වේදනා වලටත් ඉඟුරු තේ කදිම ඖෂධයක්. තේ වල මෙන්ම ඉඟුරු වලද ඇති  පේශි සන්කොෂණය කෙරෙන විශේෂිත ප්‍රතිඔක්සිකාරක ඊට උපකාරී වෙනවා.


මුඛයේ දුගඳ නැති කිරීමට තේ කහට වලින් කට සේදීම කදිම විසඳුමක්. විතරක් නොවෙයි වැඩිපුර පාද වලට  දහදිය දමන කාර්යාල සේවකයින්ට තද තේ කහටේ දෙපා පෙඟ වීමෙන්   දුගද නැති කර ගන්නටත් පුළුවන්. කහට තේ වතුරින්ඇඟ පත සෝදා  ගැනීමෙන්  අධික හිරු රස්මියෙන් පිළිස්සුනු  සම ඉක්මනින් පිළිසකර කර ගන්නත් පුළුවන්.



සමේ මෝදු වන විසප්පු වේදනාව නැතිව ඉක්මනින් පැසවීමට නින්දට පෙර තේ ගොට්ටේ  ඇති තේ කොළ විසප්පුවේ බදින්න..වේදනාව නැති වී හොඳ නින්දක් යාවි, විසප්පුව ඉක්මනින් පුපුරා සුව වේවි. දවස පුරා ඇස් වෙහෙසන ඇසට  සිසිල් ජලයෙන් පෙඟවූ තේ බෑගය පිපිඤඤා පෙති වලට සමාන  ප්‍රතිකාරයක්..

ඔබ හිතනවාට වඩා ගුණ ඇති, ශත වර්ෂ ගණනාවක් අප දන්නා තේ නව තාලයට බිමට නොව බත් වෙනුවට කෑමට යෝග්‍ය බවට මීටත් වඩා සාධක අවශ්‍යද?




 නැවත මෙවැනි ලිපියකින් හමුවන තුරු ඔබ සැමට "ආයු වඩ්ඩන්තු සබ්බදා" !!!!

රේණුකා  විමලරත්න : ලන්ඩනයේ සිට

චායා රූප අන්තර්ජාලයෙනි




6 comments:

  1. මේ නෝනට යහපාලනෙන් ගෙවනවද කොහෙද ...හේහ හේ

    ReplyDelete
    Replies
    1. හප්පට අටං මලයත් එහෙනම් මාව යහපාලන ගොඩට දැම්ම ඈ :D
      පැතූ වෙනසට පොඩි සප් එකක් දුන්නා, හාද?

      Delete