Thursday 30 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 16: නෙල්ලි

                    අත්තම්මාගේ අත් බෙහෙත් 16
 

                                     නෙල්ලි

පහුගිය සමයේ බැලු බැලු හැම පැත්තේම අපට දකින්නට ලැබුනේ ගමින් ගම පංච කල්යානියන් තෝරා දෙන ''අවුරුදු කුමාරි'' තරගයන්. අපේ කාලේ අත්තම්මා නම් කිවේ පංච කල්යාණය කියන්නේ වැහැරී යන දෙයක් මිස ප්රදර්ශනය කරමින් උඩඟු විය යුතු දෙයක් නොවන බවයි. එසේ වුවත් පවුලේ ගැහැණු ළමයින්ගේ සුන්දරත්වය වැඩවිමට ඇය දන්නා සාස්තර නොඅඩුව ලබා දීමටත් ඇය කටයුතු කළා. පංච කල්යාණය ගැන අද කාලයේ බොහෝ දෙනෙකු නොදන්නා බවකුයි මට නම් හැඟෙන්නේ. දික්ව වැඩුනු නිල්වන් කෙස් කලඹ, පැහැපත් නිරෝගී සම, මනාව පිහිටි ස්වේත වර්ණ දත් දෙපල, ශරීරයේ අංග වලට සරිලන සේ සැකසුනු මාංශ පේශි සහ වයසට වඩා තරුණ පෙනුමක් තිබීම තමා මේ පංච කල්යාණය ලෙස එදා හැඳින්වුයේ

 අද වගේ රුපලාවන්යගාරයට ඇතුළුවී 
ක්ෂණිකව පංච කල්යාණය මුදලට ලබා ගන්නට හැකියාවක් එදා ළඳුන්ට තිබුනේ නැහැ. එසේ වුවත් දහස් ගණනින් මුදල් ගෙවා උදේට උලා හවසට ඉවත්කර ගැනීමට නොව, කල්යාණය දිගටම පවත්වා ගත හැකි බොහෝ වටිනා රුපලාවන්ය විධි  අත්තම්මලා දැන සිටියා. අද පරපුරට වේගයෙන් අමතක වී යන, භාවිතයට නොගන්නා තරමට දුරස් වූ මේ අපූරු පලතුර සීගිරි ලලනාවන් සුන්දර කල රූ රහස් වට්ටෝරු අතර  පවා මුල් තැන ගත්තක්. පංච කල්යානය වැඩවීම පමණක් නොව තවත් බොහෝ  ගුණ ඇති ඖෂධීය ''නෙල්ලි'’ ගැනයි මේ සටහන.


අද ළමයින්ට වාගේ විසිතුරු රස කැවිලි නොතිබුණු එදා කඩ පිලට යන වැඩිහිටියෙකු අපට ගෙන ආවේ අද දරුවන් නොදන්නා විවධ පලතුරු වර්ග. ගල් සියඹලා, දන්, ගඩුගුඩන් වැනි වාරයේ හැදෙන පලතුරු වර්ග අතර වාරයේත්, අවාරයේත් ලැබුණු පළතුරක් තමා නෙල්ලි. හුන්ඩු ගනනට විකුණන නෙල්ලි සෝදා පොල්කොළ වට්ටියක දමා කාටත් නිතර අතට හසුවන පෙනෙන තැනක තැබීම එදා අපේ ගෙවල් වල සිදු කෙරුණු සිරිතක්.

 ඇඹුල්, ලුණු, කහට, තිත්ත සහ පැණි රස වල එකතුවකින් යුතු නෙල්ලි එකවරම ආහාරයට ගැනීමට අපහසු වුවත් කාලයක් සමඟ ඒ රසට දිව හුරු වූ විට යමින් එමින් ගෙඩියක් විකන්නට කුඩා වුවත් අපට අපහසු වුයේ නැහැ. බොහෝ වෙලා හැපිය යුතු පළතුරක් වන නෙල්ලි අවසානයේ රොඩ්ඩ  වන තුරුම ගිලින්නට නොසිතීම ඊළඟ විශේෂත්වයයි. නිතර නෙල්ලි ගෙඩියක් හැපු අත්තම්මා කුඩා අපට කීවේ දත් පනුවෝ නොකන්නට  දවසට ගෙඩියක්වත් හපන්න පුරුදු වෙයන් දරුවනේ කියායි.

අද මෙන් මරා ගෙන අයිතිවාසිකම් ඉල්ලන්නට කොම්පියුටර් ගේම්, ලැප්ටොප් නොතිබුණ යුගයේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කල එක පවුලේ දරුවන්ට වූ ලොකුම අභියෝගය එක පහනේ එලිය බෙදාගෙන පාඩම් වැඩ කිරීමයි. අඳුරේදී ඇස් පෙනෙන්නට යයි කියා අද දරුවන්ට කන්නට දෙන්නේ කැරට් වුවත් එදා අත්තම්මා කිවේ අඳුරේ ඇස පෙනෙන්න නෙල්ලි හපන්න කියායි.

ගැහැණු ළමයින් කොණ්ඩය කොටට කැපීම විලාසිතාවක් වුවේ අසූව දශකයට පසුව යයි මා කිවොත් බොහෝ වැඩිහිටියන් මා සමඟ එකඟ වේවි.  කේශ කල්‍යාණය ගැහැණු දරුවෙකුට අබරනයක් වූ ඒ යුගයේ කෙස් රැක ගැනීමට අත්තම්මා දැන හුන් පිළිවෙත් සහ ආහාර අද බටහිර වුව දේශීය වුව වෛද්‍යවරුනට අභියෝගයක්ම වන බවට කැට තබා කිව හැක. ඒ පිළිවෙත් අතර මුල් තැනට පැමිණි නෙල්ලි ප්‍රතිකාරය ඔබ සිතන තරම් සංකීර්ණ නැත.
 සතියකට වරක් පමණ නෙල්ලි යුෂ වීදුරුවක් පානයට ගැනීම සරල ප්‍රතිකාරයක් වූ අතර බෙහෙත් වංගෙඩියේ කොටාගත් නෙල්ලි වල යුෂ හොදින් හිස් කබලේ සහ කෙස් වල තැවරෙන ලෙස සම්බාහනය කර පැයකින් දෙකකින් සෝදා දැමීම අනිත් පිළිවෙතයි.


 පොල්තෙල් කඩෙන් ගැනීමේ සිරිතක් නොතිබුණු අපේ ගෙවල් වල සිද ගන්නා පොල්තෙල් මුල් කොටස බුදු  පහනටද,දෙවැන්න ආහාරයටද වෙන්කර, තුන් වැන්නට විවිධ කොළ යුෂ එක්කරමින් ඖෂධ තෙල්ද සාදාගැනීමද  සාමාන්‍ය සිරිතක්.ඉදහිට මේ තෙවැනි තෙලට කෙටු නෙල්ලි එක්කර කොළපාටට සාදාගත් ''නෙල්ලි තෙල්'' තරම් කේශ කල්‍යාණය වඩවන, අකලට සුදු වීම වලකන  ඖෂධයක් මේ මිහිපිට නොතිබෙන බවයි අත්තම්මා කිවේ.

අහසේ ඕසෝන් ස්තරය පවා නිරෝගිව පැවති  ඒ යුගයේ හිරු එලිය විපත්ති කාරක භයානක කරදරයක් නොව ශරීර ශක්තිය සපයන ආයු වඩන බෙහෙතකට සමකලා.  කමතේ හේනේ වැඩ කල තරුණ ගැහැණු ළමයින්ගේ අව් රැසට  දුර්වර්ණ වූ සම යලි පිළිසකර කර පැහැපත් බාවය ලඟා කර ගැනීමට සමේ ආලේපයක් ලෙසත් මේ නෙල්ලි තෙල් එදාභාවිතා වුනා. සමේ ඇතිවන කුරුලැ , හොරි දද කුෂ්ඨ වලට නෙල්ලි සහ රසකිඳ කසාය නිට්ටාවට ගුණ දුන් ප්‍රතිකාරයක්.
 ආයු කල්යාණය වඩවන්නට විටමින් අධික නෙල්ලි තරම් අගනා ඖෂධයක් තවත් නැති තරම්. නෙල්ලි නිතර ආහාරයට ගැනීමෙන් තරුණ බව බොහෝ කාලයක් පවත්වා ගන්නට පුළුවන්. ශරීරයේ ශයිල පටක වේගයෙන් අලුත් වැඩියා කර ඒවායේ නිරෝගී බව පවත්වාගෙන යාමෙනුත් ධූලක ඉවත් කිරීමෙනුත් තමා මෙය සිදු වන්නේ.


නෙල්ලි මෙතරම් ගුණදායි වුනේ කොහොමද? පර්යේෂකයන්  පවසන්න් නෙල්ලි වල දෙහි වලට වඩා 20ගුණයක් විටමින් සී අඩංගු බවයි.  ඖෂධ වල ඇති ඖෂධිය බල ලබා දෙන හේතුව ලෙස හඳුන්වන ප්‍රති ඔක්සිකාරක (anti-oxidant) වර්ගයක් වන ''gallic acid'' ලොව වැඩිපුරම ඇති පලතුර ලෙස නෙල්ලි  ලොවට හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ පෝෂනවේදීන්ගේ සඟරාවක් මගින් (british journal of nutrition 2013). ඔවුන්ගේ ක්‍රමයට  anti-oxidant බොහෝ ඇති බවට  පුරාජේරු ගැසූ ''රතු වයින්'' පරදවා නෙල්ලි ඊට වඩා තිස් ගුණයක් ඉදිරියෙන් සිටින බවයි ඔවුන් පවසන්නේ.

රසායනාගාර පර්යේෂණ වලදී සාධක ඇතිව ඔප්පු කරවීමට සමත්ව ඇති නෙල්ලි වල ගුණ ඔවුන් මවිතයට පත් කල බවත් බටහිර විද්වතුන් තවදුරටත් පවසනවා. 'webmed ' සඟරාව හරහා ඔවුන් පෙන්වාදෙන පරිදි රුධිරගත කොලෙස්ටරෝල් අඩුකර හදවතේ සෞක්‍යය ආරක්ෂා කරන නෙල්ලි නිතර ආහාරයට ගැනීමෙන් දියවැඩියාව රෝගය අනිවාර්යයෙන් වලක්වා ගත හැකියි. 

නෙල්ලි වල ඇති ප්‍රභල ප්‍රති අසාධන ගුණ (anti-inflamtory effect) සිරුරේ ඕනෑම ආසාදනයක් වලක්වා ගැනීමට තරම් ශක්තියක් ඇති වුවත් විශේෂයෙන්ම පිත්තාශය, පිත්තනාල, අග්නයාශය සහ ආමාශයේ මෙන්ම සන්ධි ප්‍රධාහ (arthritis) වලක්වන්නට උපකාරී වන බවත් ඔවුන් පවසනවා. 




 කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස් වැනි තෙල් අධික ආහාර නිතර ගැනීමෙන් සිරුරේ වඩාත්ම වෙහෙසට පත්වන ග්‍රන්ථින්  වන්නේ අග්න්‍යාශය සහ පිත්තාශයයි. මෙසේ වෙහෙසට පත්වන අග්න්‍යාශයේ පහසුවෙන් ඇතිවිය හැකි වැලඳුණු පසු සුවකළ නොහැකි අතිශයින්ම වේදනාකාරී පිළිකා වලක්වන්නට මේ කුඩා නෙල්ලි ගෙඩියට හැකි බවත්  ඔවුන් ඔප්පුකර පෙන්වා දී තිබෙනවා.


තවදුරටත් මේ සම්බන්දව විස්තර කරන පර්යේෂකයන් නෙල්ලි වල ඇති ස්නායු පද්ධතියේ සහ සමේ ශයිල නිරෝගී ව පවත්වා ගැනීමේ හැකියාව නිසා වයසට යාම ප්‍රමාධ කිරීමටත්, මතක ශක්තිය සහ ධාරණය වැඩි කරගෙන වයසට යාමේදී ඇතිවන dimentia සහ alzimers වැනි රෝග වලක්වන බවත් පවසනවා. නෙල්ලි වල ඇති රුධිර කැටි ගැසීම වළක්වාලීමේ හැකියාව නිසා warfarin වැනි රුධිරය තුනී කරන බටහිර බෙහෙත් ගන්නා අයට නෙල්ලි යුෂ භාවිතා කිරීමෙන් වලකින ලෙසටත් ඔවුන් අවධාරණය කරනවා.

නෙල්ලි වල භූගෝලීය සම්භවය අයත් වන්නේ ඉන්දියාවටයි. වසර දහස් ගණනක් ඈත අතීතයකට දිව යන නෙල්ලි පිළිබඳව ඉන්දියාවේ  වේද ග්‍රන්ථි වලත් ලියවී තිබෙනවා. ආයුර්වේදයේ පමණක් නොව රාවණා පරපුරේ දේශීය වෙදදුරන් මේ ගුණ රෝග සුවයට භාවිතා කලේ  අද මහා ලොකු විද්වතුන් යැයි කියන සුද්දා වැද්දා කාලයටත් වඩා එපිට අතීතයේදියි.


  සිංහල බෙහෙතේ නෙල්ලි ආහාර රුචිය වැඩවිමට, ආහාර දිරවීම සම්බන්ධ රෝග, දියවැඩියාව, සිරුරේ  ආම්ලික තාවය අඩු කර ගැනීම, මුඛ සෞක්‍යය ආරක්ෂා කර ගැනීම, රුධිරය පිරිසිඳු කිරීම, ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම, ඇසේ ආබාධ, සමේ රෝග වැනි මෙකි නොකී දහසකුත් රෝග සුව කිරීමට යොදා ගෙන තිබෙනවා. අයුර්වෙදයේදීත් මේ හා සමාන බොහෝ රෝග සුවකිරීමට භාවිතා කල නෙල්ලි ඔබටත් මටත් පහසුවෙන් අඩු මිලකට අදටත් ලබා ගත හැකි දිව්‍යමය පළතුරක්.


සිංහල බෙහෙතේත්, ආයුර්වේදයේත් නෙල්ලි  වලට හිමි වුයේ රාජකීය ගෞරව ලෙස හැඳින්වුවොත් එහි ඇති වරදක් නැහැ. නෙල්ලි වල ඇතිඅසම සම ගුණ නිසි ලෙස යොදා ගැනීමට දන්නේ නම් ඔබට සදහටම බටහිර බෙහෙත් පෙත්තෙන් ඈත්වී චිරාත් කාලයක් නිරෝගී සුවෙන් ගත කිරීමට හැකිවේවි. අපට තිත්ත වූ නෙල්ලි ගෙඩියක්  ඉඳහිට විකමින් සිටි අත්තම්මා අවුරුදු සියයකට ආසන්න වන තුරු ගෙවූ ඇගේ ජීවිතයේදී එකම වරක් හෝ රෝහලක් වෙත ගියේ නැහැ. ආයු වර්ණ සැප බල වන්නට අදම නෙල්ලි ගෙඩියේ ගුණ ඔබේ පවුලට එක්කර ගන්නට ඔබේ නුවණැස පෑදේවායි පතමින් අදට සමු ගනිමි.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියළු ගෞරවය හිමි වේ)













7 comments:

  1. හරිම ආඩම්බරයි මේ පිටුව ලස්සන වෙලා තියන හැටි දැක්කම. ලිපියනම් කවදත් වගේ පරිපුර්නයි.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි

      Delete
  2. බස්වල වෙළඳාම් කරන්නෝ පස්ගෝ රස......... කියමින් නෙල්ලි විකුනනු දැක තිබේ .ඔවුන් නොදන්නාකම නිසා එසේ කීවත් නෙල්ලි වල වටිනාකම එයින් කියවෙනව.පැරනි වෙහෙර වල ආම්ලාකාර නමින් එක්තරා හැඩයකට තැනූ චෛත්‍ය තිබෙනව .ආම්ල යනු නෙල්ලිගෙඩියයි .නෙල්ලි වල වටිනාකම අතීතයේත් හඳුනාගෙන තිබූ බව මෙයින් පෙනෙනව.රේණුකා මහත්මියගෙ මේ වටිනා ලිපි වලින් නිසි ප්‍රයෝජන ගන්න කියා ඔබෙන් ඉල්ලනව.
    වසර 300 ජීවත් වියහැකි ඔසුවක් ,නෙල්ලි යොදාගෙන සාදාගන්නා අයුරු ,ජයන්ත සේනනයක මහතා සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක දකින්න ලැබුනා . එය පහතින් සටහන් කරන්නම් .
    විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.

    මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.

    කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්‍රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.

    ReplyDelete
  3. ඔබට බොහොම ස්තූතියි, නෙල්ලි ගැන මා අසා නොතිබුණු රසබර තවත් තොරතුරු මේ ලිපියට එක් කලාට ස්තූතියි

    ReplyDelete
  4. ආසාවෙන් කියෙව්වා... ගොඩක් වටිනවා

    ReplyDelete
  5. ලුණු රස හැර අනේක් රස 5ම නේල්ලිවල ඇත

    ReplyDelete