Thursday 30 June 2016

රේණුකාගේ පලා මල්ල 4: එරබඳූ

              එරබදු මල් මොට්ටු මොට්ටු
                 අවුරුද්දත් කිට්ටු කිට්ටු 


                                 

මගේ මේ පලා මල්ලත් හැබෑටම ඉතින් පිස්සාගේ එකට වඩා වැඩි වෙනසක් නැහැ නොවැ. මේක ඇතුලේ පලා විතරක් නොවෙයි තුනපහ, ගඩාගෙඩි, එළවලු, දේශපාලනේ, ජාති ආලේ අරක මේක ඔක්කොම තියෙන බව ඉතින් මේ වෙන  කොට කවුරු කවුරුත් දන්නවනේ. ඉතින් අද පලා මල්ලට අත දැම්ම ගමන් අහුවුණේ ජාත්යන්තර කුමන්ත්රණයක් :) 

ඕන්  දැන් අහන්න එපා ජාත්යන්තර කුමන්ත්රණය කියන්නේ මොකක්ද  කියලා. ඇයි හත්වලාමේ ඔය ඉරාන-ඉරාක, ඇෆ්ගනිස්තාන, සිරියා , රනිල්-මහින්ද වගේ මෙකි නොකී යුද්ධ වලට   ඇමෙරිකාව- එංගලන්තේ කියන රටවල් දෙක පස්සෙන් ඉඳගෙන ගිනි අවුලන එකටනේ ඔය නම දෙන්නේ. එත් ඉතින් පලා වර්ගයක් කොහොමද ජාත්යන්තර කුමන්ත්රණයකට අහුවුනේ..?????


සිංහල අවුරුදු කියල එකක් ආවනේ ආයුබෝවන්ඩ මේ  ඊයේ පෙරේදා. ඕන් ඉතින් ඕකට ගම රට බලා යන්න මහා ලොකු කඩි  කුලප්පුවක් අපේ කට්ටියට  තිබ්බ ( කියන්නේ මාත් ඇතුළුව). අවුරුදු දහසයකින් සිංහල අවුරුදු  කාලෙක අපේ කට්ටිය ලංකාවට පාත් වෙලා තිබුනේ නැති නිසා තමයි මේ කලබලේ තිබ්බේ. දැන් ඉතින් ගෙදර මහ කතන්දර ගොඩයි..රබන් පද වැයෙන හැටි, ඔන්චිල්ලා, රතුපාටට වැටේ වැනෙන එරබදු මල්, කොහාගේ සංගීතේ, කැවුම් සුවඳ අරකමේක කන් අඩි පැලෙන්න සාකච්චා.


 ඕන් ඉතින් සිරි ලංකාවට ගොඩ බැස්සට පස්සේ තමයි ඔය පුම්බන් හිටපු  බැලුම් බෝලේ ඩෝන් ගාල පිපිරුවේ.. කෝ යකෝ එරබදු???? එහෙත් බැලුවා -මෙහෙත් බැලුවා කොහෙත් එරබදු නැහැ බෙහෙතකටවත්.. බෙහෙත් කිව්වම ...දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ..එරබදු වල තියෙන බෙහෙත් ගුණ නිසා දෙකක් නැහැ ඇමෙරිකාව එරබදු උස්සලා ඇති. ඕන් ඔහොමයි පලා මල්ලේ තිබිලා ජාත්යන්තර කුමන්ත්රණයක් සොයා  ගත්තේ හොදේ.




අපි පුංචි කාලේ නම් අවුරුදු එන වග අපට මුලින්ම කිවේ මේ එරබදු මල් පොහොට්ටුයි. මාර්තු මාසේ මැද විතර පොහොට්ටු එන්න පටන් ගන්න එරබදු අප්‍රියෙල් මාසේ පටන් ගන්න විට මුළු රටම රතු පලසකින් වසා ගන්නවා. බලන බලන හැම තැනකම වැටට, හේනේ කුඹුරේ වගාවන් වටා රටාවකට තමා එරබදු වවා තිබුනේ. වැටට හිටවූ එරබදු ගස්වලට බුලත්, ගම්මිරිස්, අඟුණ, මෑ දඹල වැලක් දෙකක් වවා ගැනීම හැම ගෙවත්තේම සිදු වුනා. විශේෂයෙන්ම කුඹුරු සහ ඕවිටි වටා වැඩිය උස නොයන්න කප්පාදු කල එරබදු වැටක් වැරදුනේම නැහැ.


පණු අමාරු වලට අත්තම්මා පෙති ගිල්ලෙව්වේ නැති බවත් බොහෝ එළවලු ඒ වෙනුවට යොදාගත් හැටිත් මගේ ලිපි වල නැවත නැවත විස්තර කර තිබෙනවානේ. ඕන් පණු ගායට නොවරදවා හැදුනු අත් බෙහෙත් වලින් තවත් එකක්  තමා මේ එරබදු දල්ල. රසවත් පලා වර්ගයක් වුනු එරබදු නිසි ලෙස පිස ගන්න එදා අම්මලා හොදින් දැන  සිටියා. දල්ලේ ඇති තිත්ත රසය යන්නට මද උණුසුම් වතුරේ විනාඩි 5ක් පමණ පොඟවා මිරිකාගෙන රතු ළූණු උම්බලකඩ මිටි කිරි දමා පිසින එරබදු ව්‍යංජනය අතිශයින්ම රසවත්.



 පටි පණුවන් ආසාධනයට බෙහෙවින් හිතකර එරබදු පණු අමාරු වලට පමණක්ම  නොවෙයි කැස්ස, ඇදුම සහ හතිය, සන්ධි වේදනා, වෙනත් උදර වේදනා, ශරීරයේ කොතැනක හෝ සෑදෙන විසප්පු ගෙඩි, හිසරදය, කම්මැලි බව නැති කරන්නට හැකි අසහාය ඖෂධයක් ලෙසිනුයි අත්තම්මා හැඳින්වූවේ.


දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ එරබදු කොළ, පොතු, මුල් සහ ඇට යනාදී සියලු කොටස් සියල්ලම බෙහෙතට යොදා ගත්තා. දුඹුරු පාට බෝංචි ඇටයක හැඩති  මේ ඇට පොඩිකාලේ අපි එකතු කල මදටිය, ඔලිඳ සමඟ තිබු තවත් ඇට වර්ගයක්. මේ ඇටයක් දෙකක් ගිලුනොත් ''ගංජා ගැහුවා වගේ'' කියලා කියනවා මට මතකයි.

 සිංහල බෙහෙතේදී එරබදු කොළ උදරයේ පණු ආසාදන, කන් වේදනා වලට ප්‍රතිකාර පිණිස බහුලව  භාවිතා කළා. එරබදු ගහේ  කොළ පොතු ඇට සියල්ල එක්කර සන්ධි ප්‍රධාහ වලට පත්තු සෑදීම කෙරුණු අතර සමේ සහ ඇස් රෝග, පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය, ආහාර දිරවීමේ ගැටළු, මල බද්ධය, පිළිකා සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන විෂ ගෙඩි  වැනි තවත් බොහෝ රෝග වලට ප්‍රතිකාර පිණිස යොදා ගැනුනා.


අයුර්වේදයේදී එරබදු රුධිරය පිරිසිඳු කිරීම,වේදනා නාශකයක් ලෙස, අපස්මාරයට, ඔසප් ක්‍රමවත්ව පවත්වා ගැනීම, උණ අඩු කිරීම, කැස්ස සහ හතිය,ගෙඩි  පිළිකා, කොන්ද ආශ්‍රිත සහ සන්ධි  වේදනා , නින්ද නොයෑම , මුත්‍රා ආසාධන වැනි සියක් රෝග වලට ප්‍රතිකාර වශයෙන් යොදාගෙන තිබෙනවා.

මෙතරම් ගුණදායි එදිනෙදා ජිවිතයට ප්‍රයෝජනවත් එරබදු අපට නොදැනී අතුරුදහන් වුයේ කොහොමද? එරබදු අතුරුදහන් කළා විය නොහැකිද? ජාත්‍යන්තර කුමන්ත්‍රණය පලා මල්ලට සේන්දු වෙන්නේ මෙන්න මෙතනදියි.

කලිනුත් සඳහන් කළා සේ අපේ කාලේ එරබදු බහුලව වවා තිබුණේ කුඹුරේ ඕවිටේ වැට මායිමට වෙන්න. රසායනාගාර වල පරීක්ෂණ නොකලට ගහ කොළ පස ගැන මනා අවබෝධයක් තිබු අපේ ගොවින් දැන සිටියා එරබදු ගහෙන් පසට ලැබෙන ස්වභාවික සාරවත් බව. එරබදු ගසේ මුලින් පසට එක්වන ස්වභාවික නයිට්‍රිජන් නිසා රසායනික පොහොර නොයොදා පලදාව බහුලව  ලැබුනා.

 දෙවැන්න එරබදු ගගේ කටු නිසා ඉඳි වැට බිඳගෙන එන ගෝන මුව හරක් එළු වැනි ආපදා වලින් වගාව රැකුණා. තුන්වැන්න එරබදු කොළ වල ඇති තිත්ත රස නිසා කෘමී ආකර්ශනයක් සිදු වන්නේ නැහැ. එය ස්වභාවික කෘමි නාශක වර්ගයක් ලෙස ක්‍රියාත්මක වීම නිසා විස අඩංගු කෘත්‍රිම කෘමි නාශක අවශ්‍ය නැහැ. ඉතින් එරබදු ගස් තිබුනොත් කොහොමද බටහිර අපිට මේ වස විස විකුන්නන්නේ? 


කුමන්ත්‍රණයේ අවාසනාවන්තම කොටසට  එන්නේ දැනුයි. බටහිර  රසායනාගාර පර්යේෂකයන් පවසන පරිදි අනාගත වෛද්‍ය විද්‍යාවේ ජයිව ඉන්ධනය (bio-fuel) වන්නේ එරබදු ඇටය ඇතුළු ශාකයේ සියලුම කොටස්.


නූතන වෛද්‍ය ලෝකය මුහුණ දී ඇති විශාලම ගැටලුව වන ''ප්‍රතිජීවක අසන්වේදිතාවය'' (antibiotic ressistance) සඳහා මේ වන විට ලැබී ඇති ලඟම  එන  පිළියම විය හැක්කේ එරබදු ශාකයයි. ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිපල වලට අනුව ''සුපර් බග්' (super bug) ලෙස හඳුන්වන මෙතිසිලින් රෙසිස්ටන්ට් පෙනිසිලින් (Methicillin Resisstant Staphilococcus Aurius) (M R S A) විනාශ කල හැකි erycristagallin and orientanol B විශාල සාන්ද්‍රණයකින් එරබදු නිස්සරණයේ අඩංගු වෙනවා. ඉතින් එරබදු අපේ රටවල තිබිලා කොහොමද? පෙත්තක් හදලා අපිට විකුනන්න එරබදු අපෙන් විනාශ කරන්නම එපෑය.


මිට අමතරව මේ රසායානාගාර පර්යේෂණ දත්ත වලට අනුව ඔප්පු කර ඇති එරබදු ගුණ මේ විධියට වර්ග කල හැකි බවයි ඔවුන් පවසන්නේ;

  • ·       anti-osteoporosis  ඔසප් නැවතුනු කාන්තාවන්ගේ අස්ථි වල සිදුවන වෙනස්කම් වැලකීම
  • ·       මුඛ කුහරයේ පිළිකා කාරක බැක්ටීරියා විනාශ කර මුක සෞක්‍යය ආරක්ෂා කිරීම
  • ·       මධ්‍යම ස්නායු  පද්ධතියට බලපා වලිප්පුව වැලැක්වීම -anti convulsion effect
  • ·       anti -coagulation effect රුධිරය තුනී කිරීමෙන් ගැඹුරු ශිරා සහ පෙනහළු වල රුධිර කැටි ඇතිවීම වැලැක්වීම
  • ·       anti -microbial effect බැක්ටීරියා සහ වයිරස වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව
  • ·       cytotoxicity effect පිළිකා ශයිල නැසීමේ හැකියාව
  • ·       වසා පද්ධතිය පිරිසිඳු කිරීම
  • ·       කොලෙස්ටෙරෝල් අඩු කිරීම
  • ·       රුධිර සිනි මට්ටම අඩු කිරීම 
 (http://www.stuartxchange.org/Dapdap.html)


එරබදු අපට නැති වුයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා යැයි මා ඉහත කි කරුණට ඔබ දැන් මා සමඟ එකඟද? එසේ නම් එරබදු වැවීමේ මහා සටනක් අදින් පටන් ගන්න. මේ පණිවිඩය පතුරුවන්න. එරබදු වවා නිරෝගී පරපුරක් බිහි කරන්නට අත්වැල් බැඳ ගන්න. නැවතත්  මෙවැනි තොරතුරකින් යලි හමුවන තුරු ඔබේ දිවිය එරබදු මලින් පිරි ආයු බෝ වේවා!


රේණුකා විමලරත්න ලන්ඩනයේ සිට 30/04/2016

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සම්පූර්ණ ගෞරවය හිමිවේ)















7 comments:

  1. mechchara watina erabadu gahata velaa thiyenne mi gahata wechcha demayi. kavadada ape minissu mewa therum ganne. kavuru hari avadi vunoth meka dakala loku deyak.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත තවමත් පමා නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ ඇසින් වසන් වූවාට තවමත් කැළාබඳ ප්‍රදේශ වල එරබදු ඇති බවට විශ්වාසයි

      Delete
  2. එක ඇත්ත තවමත් පමා නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ ඇසින් වසන් වූවාට තවමත් කැළාබඳ ප්‍රදේශ වල එරබදු ඇති බවට විශ්වාසයි

    ReplyDelete
  3. ඇත්තම තමා ....අවුරුද්දත් කිට්ටු කිට්ටු ......එරබදු මල් මොට්ටු මොට්ටු කීවට ....අද එරබදු ගස් දැකපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි.ඔබතුමියගේ මේ ලියමනෙන්වත් සැමගේ ඇස් ඇරේවා කියල පතනව.

    ReplyDelete
  4. ඇත්තටම මට ලංකාව තේරුම් ගන්න බැහැ වගේ දැන් . මෙච්චරටම අපේ මිනිස්සු පිරිහිලාද විනාස වෙනකම් බලන් ඉන්නේ?

    ReplyDelete
  5. මං මේවගේ භාෂා විලාසයකට ඒතරම් කෑමති නැහැ ඒත් මේකනම් අක්කේ පට්ටම පට්ට මරේ මරු නොකීවොත්, මටත් ආයි ඒ භාසාව භවිත කරන්න වෙන්නේ අනිත් අයවගේ ඇත්තටම එහෙම අගය කරන්න ඕනි තැනකට නැතිව වැදගැම්මකට නැති වෙන මොකකට හරී, ඕයාට කියන්න මමත් මටත් චූටිම කාලේ එරබදු මල් එක්ක අපේම වැටකගහක දැක්කට පස්සේ ආයි කවදාවත් දැක්ක මතයක්නෑ, ඇඩෙනවා මේලෝකෙ කොහේ ටද මේ යන්නේ කියදා දැනෙනකොටනම්, අර තව කවුද කියලා තියෙනවා වගේ මීගහත් ඒකෙන් ගන්න තෙල්වල වටිනාකම අද කාලේ හැමෝම දැනුවත්නම් ඉතින් දැන්තියෙන බෝනොවන, බෝවන රෝග ගනනාවක්ම මේතරම් දකින්න නොලැබෙනබව මේ හ...ට තේරුම් යනවනම්....

    ReplyDelete
  6. රසවත් ලිපියක් ! ස්තූතියි ! පොඩිකාළේ එරබුදු ඇටේ බිම අතුල්ළලා කාගෙ හරි අතක පයක තියනවා,විහිළුවකට වගේ...... :) කඩියෙක් කෑව වගේ දැවිල්ලක් එනවා...සමහර වෙලාවට පොක්කලම් මතුවෙනවා.
    ඉස්සර එරබුදු ගහක් නැති වැටක් තිබුණෙ නැති තරම්. ක‍ටු නිසා නිතැතින්ම හොඳ ආරක්ෂාවකුත් ලැබුණා. ලොකු ඉඩම් පොඩි පොඩි කෑළිවලට කොටස් කරළ වෙන්දේසි වෙනකොට අර තිබුණු ඉනි වැටවල් වෙණුවට තාප්ප කෑළි ඉදිවුණා. එරබුදු වගේම එදා අපේ ඉනිවැටේ තිබුණු ගිනිසීරිය,එරඬු,සූරිය වගේ ශාඛයනුත් ටිකින් ටික අපේ දසුණෙන් ඈත්වෙලා යනවා............

    ReplyDelete