Saturday 25 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 7 : දෙහි

                 අත්තම්මාගේ අත් බෙහෙත් 7


                                     දෙහි

අත්තම්මාගේ අත් බෙහෙත් සහ රසබර ආහාර ගැන ලියවෙන හැමවිටම මට සිහිවන්නේ එදා සිටි සියලුම අත්තම්මලා දරුවන්ට පෑ සෙනෙහසයි. උල්පතකින් උනන්නා සේ ඇගේ හදවතේ උපන් සෙනෙහස ඇය ඇගේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට පමණක් නොව මුළු ගම්මානයේ සිටි සියලුම දරුවන්ටත් එක සේ බෙදා දුන්නා. අසල වැසි නිවසක කෙනෙකු අසනීප වුනු විටක, ආවාහ විවාහකයකදී, තොවිල් පලකදී, අවමංගල්ය්යකදී දී මෙය අපේ නොවේ කියා නිවසේ දොරවල් වසාගෙන සිටින්නට ඇයට නොහැකි වුවාය

අත්තම්මාට නොසතුටක් දැනුනොත් බොහෝ විට ඇයගේ දරුවන් කෙරෙහිය. එවන් විටක ඇය අම්මට, මාමලාට දෙහි කපන අයුරු මට අදටත් මතකය. පුංචි අපිට නම් ඇය දෙහි කපන්නේ නැතුවා හා සමානය. අපේ වරදකදී අපේ දෙමව්පියන් අපිට දෙහි කපන විටක අපේ පැත්ත ගන්නා ඇය දෙහි කපන්නේ ඔවුන්ටමය.

අත්තම්මාට අමතරව ඉඳහිට දෙහි කපන්නට අසුව දශකයෙන් එහා අපේ නිවෙස් වලට ආවේ කට්ටඩි මාමාය. නෑදෑ කමක් නැතත් ගමේ සියලුම දෙනා මාමලා නැන්දලා වූ අපි කුඩා කාලයේ මාළු වෙළෙන්දා අපේ මාළු මාමා වූ අතර, ලි ඉරන්නා වඩු මාමා වුවා සේ දෙහි කපන්නට කට්ටඩි ඇඳුරා අපේ කට්ටඩි මාමා වුවේය. කට්ටඩි මාමාගේ දෙහි කැපුම අපේ රටේ තිබී නැතිවී ගිය වෙනත්ම අන්දමක ගුප්ත විද්යාශයිලියකි. දන්නා කෙනෙක් ඇත්නම් ලියන්නට මෙය වෙනමම ආකර්ශවත් මාතෘකාවකි. මාතර හද්දා පිටිසර ගමක උපන් මගේ ස්වාමියා නම් ඒගැන බොහෝ දේ දනී. ගැන මෙලෝ දෙයක් නොදන්නා මා අද ලියන්නට සුදානම් වන්නේ අත්තම්මා මුළුතැන් ගෙයි කපාගත් දෙහි ඇය ආහාරයේ රස මවන්නටත්, පවුලේ අයගේ සුවතාවය පවත්වා ගන්නටත් යොදවා ගත් ආකාරයයි.


අත්තම්මා සෑදු බොහෝ රසවත් ආහාර වල රස රහස සැඟවී තිබුනේ දෙහි ගෙඩියේය. පොල් සම්බෝලය , කිරි හොද්ද, මැල්ලුම, ගොටුකොල සලාදය වැනි රසවත් ආහාර දෙහි නැතිව නිසි රසය ලබා ගැනීමට නොහැකියි. වැස්ස කාලයට පාසල් හැරී ගුරු පාරේ හැම වතුර වලකටම පැන මඩකරියන් මෙන් ගෙදරවිත් පළමු කිවිසුම යවනවිටම මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි ගෙඩියක් මිරිකා මී පැණි තේ හැන්දක් මිශ්ර කර අපට බොන්න දුන්නේ සෙම්ප්රතිශ්යාව වලක්වා ගන්නටයි.



 සෙම්ගෙඩි ඇති වූ විටක කපාගත් දෙහි බෑවක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් දවටා වරින් වර දිවේ තැබිමෙන් ඛේට නාල අවහිර වීමට නොදී වේදනාව අඩු කරවීමටත් ආසාධනය ඉක්මනින් සුව කිරීමටත් ඇය කටයුතු කලාය . තද බල සෙම්ප්රතිශ්යාවකදී දෙහි කොළ උතුරන වතුරට දමා දුම් ඇල්ලීමෙන් සෙම බුරුල් කර හුස්ම ගැනීමේ පහසුව සලසා දුන්නෙත් අත්තම්මලාගේ මග පෙන්වීමෙනි.


 ග්රීෂ්ම නිවාඩු කාල වලදී වත්තපුරා හඩු ගඳ ගසන තුරු සෙල්ලම් කර දාඩියෙන් බත් වී නිවසට එන අපිට සිනි දැමු දෙහි යුෂ වීදුරුව අද මෙන් ඩයි දැමු පැණි බිම නොතිබුණු යුගයක පිපාසය නිවාලන අමුර්ත පානයක් විය.

නිවාඩු කාල වල වැඩි පුර වැලි අතගෑමෙන් එකල පොඩිවුන්ගේ සමේ හට ගන්නා කිරි බිබිලි, දද , සිරුම් තුවාල ආසාදනය නොවීමට අත්තම්මා මිරිකා ඉතිරි වූ දෙහි ලෙල්ල ඇඟ සෝදන විට අපේ සමේ ඉලිමට අම්මා පෙලබෙව්වාය. ආහාර අපත වූ විටක සෑදෙන වමනය නැති කිරීමට දෙහි යුෂ මනා ඔසුවක් වූ අතර, උදරයේ ඇතිවන බඩවැල් පෙරලෙන්නාක් වැනි වේදනාව (කොලිකි පේන් ) සහ සීදම් බඩයාමට දෙහි දැමු සැරට සැදූ කළු කෝපි කෝප්පය පිහිටට ආවේ අත්තම්මාගේ දෑතිනි


එපමණක් නොවේ යුවතියන්ගේ ඔසප් වේදනාව අඩු කිරීමට වේදනා නාශකයක් ලෙසත් එම කාලයේදී විජලනය වළක්වාලීමටත් අත්තම්මලා දෙහි යුෂ භාවිතා කළා. මාළු කරවල පිසීමෙන් පසුව දෑත් වල ඇති පිලි ගඳ යැවීමට දෙහි අතුල්ලා ගත් ඇය පායන කාලයට පැතිරෙන ඇස් රෝග වලකාලීමට දෙහි බෑවක් මිරිකු වතුර බේසමකින් දෑස් සහ මුහුණ සෝදා ගැනීමට අපට බලකලේ එහි ඇති බැක්ටීරියා නැසීමේ ගුණය ඇය ජීවිතය නමැති රසායනාගාරයේදී උගත් නිසාවෙන් නොවේද?







ලෙමන් නැතහොත් වැල් දෙහි නමින් අප දන්නා සිට්රස් පවුලේ ළඟම නෑදෑයාට වඩා දෙගුණයක් යුෂ සහ විටමින් සි අඩංගු දෙහි මහගු ප්රයෝජන ඇති දිව්යමය ඖෂධයකි. එහි ඇති විටමින් සි අධික භාවය නිසා දෙහි මුඛයේ, තොල වල සහ විදුරු මසේ රෝග වලට ප්රතිකාරකයක් ලෙසත් මුඛ සෞක්යය පවත්වා ගැනීමට ඉවහල් වේ. දෙහි යුෂ වල සහ ලෙල්ලේ ඇති ස්වාභාවික තෙල් සමේ තෙතමනය රැක ගැනීමටත්, සමේ රෝග වලින් වලක්වා ගැනීමටත් උපකාරී වේ. ආම්ලික ශක්තිය මගින් ජීරණ පද්ධතියේදී ආහාර කුඩා කොටස් වලට බිඳ දමා, ජීරණ යුෂ (එන්සයිම්ස්) ශ්රාවය වීම උත්තේජනය කර ආහාර ජිරනය් කිරීම ඉක්මන් කරවන අතර අජිරණයකදී එමගින්ම ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා ඉක්මනින්ම ආහාර මාර්ගයෙන් ඉවත් කිරීමටකටයුතු සලස්වයි. මේ හේතුව නිසාම මල බද්ධය වැලකීමද සිදු වේ.


ඇමෙරිකානු දියවැඩියා සංගමයට අනුව දෙහි වල බහුලව ඇති දියරමය තන්තු (සොලුයුබල් ෆයිබර්) අහාර මාර්ගයේදී සිනි අවශෝෂණය කිරීම ක්රමවත් කර දියවැඩියා අවධානය අඩු කරන අතරම රුධිර නාල වල මේධය තැන්පත් වීම වැළක්වීමෙන් හදවත් රෝගත් වළක්වනවා. ස්වසන ආසාධානවලදී ඇතිවන නාසයේ සිරවීම් (නේසල් කොන්ජජෙෂන්)අඩු කිරීමට දෙහි ලෙල්ලේ සහ කොළ වල ඇති පැඟිරි තෙල් වලට මනා හැකියාවක් ඇති බව බටහිර වෛද්යවරයා අපට කියන්නට පෙර ප්රායෝගිකව බව අපට පෙන්වුවේ අපේ ආදරණිය අත්තම්මා නොවේද?


මීටත් අමතරව දෙහි වල ඇති ධුලකහරණ සහ ප්රතිජීවක ගුණ නිසා තරුණ බව සුරැකීමත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත්, සුව නින්දක් ලබා දිමටත්, මානසික ආතතිය නැති වීමටත්, වේදනාව නැතිකිරිමටත් සමත් වෙනවා.




 මෙතරම් ගුණ ඇති දෙහි නිසියාකාරව ශරීරයට ලබා දීමටත් අත්තම්මාට තිබුනේ කදිම හැකියාවක්. උණුසුම නිසා දෙහි වල ඇති විටමින් විනාශ වන බව දැන සිටි අත්තම්මා හොද්දට දෙහි යුෂ එක්කළේ ලිපෙන් බාගෙන නිවූනු පසුවයි. එපමණක් නොවෙයි ශාකමය එළවලු සහ මාළු කරවල වල ඇති යකඩ අවශෝෂණයට විටමින් සි අවශ්ය බවත් දැන සිටි ඇය එවන් ආහාර වලට නොවරදවා දෙහි යුෂ එක්කලාය. ඇලුමිනියම් භාජන වලට දෙහි යුෂ ගැටීමෙන් ඇතිවිය හැකි රසායනික ප්රතික්රියා හඳුනා සිටි ඇය දෙහි සහ හා සමාන වෙනත් එලවලු පලතුරු ඇලුමිනියම් හැඳි, වලන් වල නොදමන්නටත් දැන සිටියාය.


අවාරයේ ගන්නට හතරට පලා ලුණු දමා අව්වේ වෙලා ගන්නා අත්තම්මාගේ 'ලුනුදෙහි' වල රස දැනුත් මගේ දිවගට දැනෙන්නාක් මෙන් දැනෙයි. දෙහි අඩු කාලයේදී ගන්නට සුදානම් කර තැබුවත් අපටනම් ඒතාක් කල් ඉන්නට බැරුව ආත්තම්මාගේ රස පිරි ලුනුදෙහි පසු පස හඹා ගිය කාලයක්ද අපට තිබුණි. නැවත හමුවන තුරු ඔබ දිවිය ලුනුදෙහි සේ රසවත් වේවායි පතමින් අදට නවතිමි. ඔබ සැමට ආයු බෝ වේවා!


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට


චායාරූප: අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියලු ගෞරව පුද කරමි)















3 comments:

  1. ඔබේ ලිපිය විශිෂ්ඨයි. කුඩා නොගැලපීමක් පෙන්වා දෙන්නම් තද බල සෙම්ප්‍රතිශ්‍යාවට දෙහි කොළ දුම් ඇල්ලීමෙන් වන්නේ සෙම බුරුල්විම නොවේ. සෙම වියලී කෝටරක වල රිත්තකය ඇතිවී සහනය සැලසීමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෛද්‍යතුමා, මෙවැනි අඩුපාඩු මග හැරෙන දේ ඉදිරියටත් පෙන්වා දෙන්නයි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

      Delete
    2. ඔබටත් බොහොම ස්තුතියි කරන සේවයට.

      Delete