Saturday 25 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 10 : කරවිල




අත්තම්මාගේ අත් බෙහෙත් 10


කරවිල  
ගතින් ලොව කොයි දික්බාගයක විසුවත් සිතින් සහ හදවතින් තම රටේ ජිවත්වන යම් ජන කොට්ටාශයක් ලොව වෙත් නම් ලාංකිකයන් යැයි මම සිතමි. හිම වරුසාවකින් ලන්ඩනය වැසි ගියද, බව නිවසින් පිට නොගියොත් නොදන්නා අපේ ඇත්තෝ ලංකාවේ පූස් පැටවෙකුට අධෝ වාතයක් ගියත් සුළු වෙලාවකින් එය දැන ගත හැකි තරමට මාධ්ය සහ සමාජ ජාලා හරහා දෙස බලා සිටියි
වාසනාවකට හෝ අවාසනාවකට මා තුලද ඇති මේ පුරුද්ද නිසා මෑතකදී කියවූ ලංකාවේ පුවත් පත් ලිපියක් මගේ සිහියට නැගේ. මේ දිනවල බොහෝ කතා බහට ලක්වන චරිත දෙකක් ‘’කොහොඹ ගසට කරවිල වැල ගියාසේ’’ ගැලපෙන බව ලිපියෙහි සදහන්ව තිබුණි. අසුව දශකයෙන් එහා අත්තම්මා 'කොහොඹ ගසට කරවිල වැල ගියාසේ' හැඳින්වුයේ සමාජයට අහිතකර දුර්ගුණ ඇති දෙදෙනෙක් එකට එකතුවී සමඟිව සිටීමයි.

 මේ උපහැරණයෙන් එදා සංකේතවත් වුයේ කොහොඹ සහ කරවිල දෙකේම ඇති 'තිත්ත රසය' මිස මේ දෙවර්ගයේම ඇති සැබෑ ගුණ නොවෙයි. අද මා සුදානම් වන්නේ අත්තම්මාට තිත්ත නොවූ, ගුණයෙන් මිහිරි වූ , නිවැරදි ලෙස පිස ගැනීමට දක්ෂ වුවහොත් රසයෙනුත් මිහිරි වූ,අත් බෙහෙතකට වඩා දුර ගිය ගිය 'කරවිල' පිළිබඳව ඔබට මතක් කර දෙන්නයි.

අද අපේ සමාජය පිළිසකර කල නොහැකි මට්ටමට මුළුමනින්ම උඩු යටිකුරු වී ඇත. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ගති ගුණ මෙන්ම කුඩා දරුවකුගෙන් අපේ ප්රධාන ආහාරය කුමක්දැයි කියා ඇසුවොත් ''කොත්තු'' යයි කියන මට්ටමට ආහාර රටාවද වෙනස් වී ඇත. අපේ කාලයේ කොත්තු නොතිබුනත් අද ළමයින්ගේ දිනපතා ආහාරයක් වන ''ෆ්රයිඩ් රයිස්'' වර්ග නම් කීපයක්ම අත්තම්මලා සෑදු බව මට මතකය. බැදපු ළුණු, කජු දමා සාදන ළුණු බත, එළවලු බත, කහ බත, දුන්තෙල් බත මේ අතර විය. එදා අපට මේ දේවල් ලැබුණේ කලාතුරකින් මගුල් ගෙදරකදී පමණි. දිනපතා අපට ලැබුනේ ගමේ ගොඩේ එළවලු දෙකක් පමණ, කොළ මැල්ලුමක්, මාළු හෝ කරවල වලින් සැදුනු 'සමබල- සමබර' ආහාරයක්.

ජීව විද්යාත්මක ගුණ නැති, මේධය සහ ඉක්මනින් දිරවන පිෂ්ඨය ( fast acting carbohydrate )අඩංගු සුදු සහලින් සැදු ෆ්රයිඩ් රයිස් සහ එබදුම ප්රතිපල ඇති කොත්තු නිතිපතා අහාරයට ගැනීමඅඩු ආයුෂින් මාරයාට අත වනා අඬ ගැසීම වැනි දෙයකි. එදා මෙන් දුව පැන ඇවිද සෙල්ලම් කිරීමට අවකාශයක් නැති, 'පාසැල - ටියුෂන් පන්තිය- පරිගණකය' යන ත්රිකෝණයේ හිරවී මානසික ආතතියෙන් ගෙවී යන ඛෙද ජනක ළමා විය සහ යව්වනය අවසාන වන්නටත් පෙර දියවැඩියාව, හදවත් රෝග, අධික රුධිර පීඩනය වැනි දිගු කාලින රෝග වලින් අද පරපුර පිඩා විඳි.

මේ අනතුරින් අපේ ඊළඟ පරපුර ගලවාගත හැකි බොහෝ ආහාර වර්ග අදටත් අප රටේ පහසුවෙන් සොයා ගැනීමට පුළුවන්. ගෝලීයකරණයට සහ රුපවාහිනි වෙළඳ දැන්වීමට යටවූ අද කාලේ නිවසේ දෙවියන්ට මුළුමනින්ම අමතකව ඇති රසවත් ආහාර අතරට කරවිල එක්වීම බොහෝ අවාසනාවන්ත කරුණක්.



කරවිලවල ඇති රුධිර සිනි අඩු කිරීමේ හැකියාව දැන සිටි අත්තම්මලා එදා භාවිතා කලේ අත් බෙහෙතකට වඩා ප්රත්යක්ෂ ප්රතිකාරයක් ලෙස බව කිවොත් වඩා නිවැරදි යයි මට හැඟේ. කරවිල වතුරේ තම්බා දියර පානයට දීම හෝ අමු කරවිල යුෂ දෙහි ඉස්ම ටිකක් එකතුකර දියවැඩියා රෝගීන්ට නිතිපතා පානය කිරීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකුලතා වළක්වාගෙන, ආයු කාලය දිගු කර ගැනීමට අත්තම්මලා දැන සිටියා. සුව කර ගැනීමට කල් ගතවෙන තුවාල සුව කිරීමට කරවිල නිතර ආහාරයට එකතු කිරීමත් එදා බහුලව සිදුවුනා

දරුවකු ලැබුණු මවකට කිරි එරවිමට අත්තම්මලා භාවිතා කල තවත් එක් අත් බෙහෙතක් තමයි කරවිල. කිරි එරවෙනවාට අමතරව මවට කරවිල ආහාරයට දීමෙන් කුඩා දරුවාට ඇතිවිය හැකි 'රත ගාය ' නම් වූ සමේ අසාධනය අඩු කර ගැනීමටත් ඔවුන් දැන සිටියා.

කරවිල කොළ ඉස්ම හිස්කබලේ ආලේප කිරීමෙන් අකලට හිසකෙස් පැසීම සහ ගැලවීම අඩු කර ගන්නටත්, තරුණියන්ගේ හිසකෙස් නිරෝගී ලෙස දිගුව වවා ගන්නටත් අපේ කාලයේ වැඩිහිටියන් දැන සිටියා. එපමණක් නොවේ එදා දීග දෙන්නට ආසන්න වයසේ පසුවන තරුණියන්ගේ සමේ පැහැපත් භාවය වැඩි කර රූ සපුව වර්ධනය ගැනීමට නිතර කරවිල ආහාරයට ලබා දී තිබෙනවා.

වසර දහස් ගනනක සිට අපේ පැරැන්නෝ දැන සිටි කරවිල වල ඇති රුධිරගත සිනි අඩු කිරීමේ හැකියාව ඉතා නිවැරදිව භාවිතා කරන්නටත් අපේ අත්තම්මලාට අපුර්ව රසායන විද්යා දැනීමක් තිබුනා. අත්තම්මලා රාත්රී ආහාරයට කරවිල යොදා ගත්තේ නැහැ. විශාල ගෙවතු, එලි පෙහෙළි නොකළ ලඳු කැලැ බහුලව තිබු අසුව දශකයෙන් එහා කාලයේ අපටනිතර විෂ සර්පයින් දකින්නට ලැබුනා පමණක් නොවේ සර්පයින් දෂ්ඨ කිරීමත් නිතර අසන්නට ලැබුනා. සර්ප විෂ ශරීර ගත වූ විට පුද්ගලයාගේ රුධිර සිනි මට්ටම ඉතා වේගයෙන් පහලට වැටෙනවා. රෑ කාලයේ කරවිල අනුභව කොට රුධිර සිනි මට්ටම අඩු වූ කෙනෙකුට සර්පයකු දෂ්ඨ කළහොත් ප්රතිකාර කිරීමට පෙර රුධිර සිනි මට්ටම විශාල වේගයකින් පහතට වැටීමේ අවධානය අඩු කිරීමටයි අත්තම්මලා රෑ කෑමට කරවිල නොදුන්නේ. ඉතින් අපට සිටි මුල්ම ජීව විද්යා සහ රසායන විද්යා ගුරුවරිය අත්තම්මා යැයි කීමට මේ සාධකයම ප්රමාණවත් නොවෙයිද?

කරවිල වල පේටන්ට් අයිතිය අද අත්කර ගෙන තිබෙන ඇමෙරිකාව පහළොස්වන වන සියවස වන තුරු කරවිල ගැන දැනගෙන සිටියේවත් නැහැ. අදින් වසර පන්සියකට පෙර අප්රිකාවේ සිට ගෙනගිය වහලුන් කරවිල භාවිතා කිරීමෙන් විවිධ සුව කිරීම් සිදු කරනු බලා සිටීමෙන් පසුවයි ඔවුන් කරවිල ගැන දැන ගත්තේ. බුද්ධ කාලයටත් වසර දහස් ගනනකට පෙර සිට ඉන්දියාවේත් ආශ්රිත වෙනත් ආසියානු රටවලත් , අපේ රටේත්, චීනයේ සහ අප්රිකාවෙත් කරවිල ඖෂධයක් ලෙස භාවිතා කර තිබෙනවා.

 රසායනාගාර පර්යේෂණ වලට අනුව කරවිල වල ඇත්තේ මිනිස් අග්න්යාශයේ නිපදවන ඉන්සියුලින් (Human Insulin) වලට බොහෝ සමාන රසායනිකයක්. මේ අපුර්ව රසායනිකය ඉන්සියුලින් මෙන්ම ක්රියාත්මක වී රුධිර ගත සිනි අඩු කරනවා පමණක්ම නොවෙයි. එමඟින් අග්න්යාශයේ ඉන්සියුලින් නිපදවන බීටා ශයිල ප්රතිසංෂ්කරණය කරමින් ඉන්සුලින් ශ්රාවය කිරීම උත්තේජනය කිරීමත්, නිපදවන ඉන්සියුලින් වල ගුණාත්මක අගය වැඩි කිරීමත් සිදු කරනවා.


බොහෝ දෙනෙක් අද වන තුරු දන්නේ කරවිල වල ඇති සීනි අඩු කිරීමේ හැකියාව පමණක් වුවත් කරවිල වල ඉන් ඔබ්බට දිව ගිය දිව්යමය ඖෂධ වටිනාකම් රාශියක් තිබෙනවා. කරවිල වල ඇති ප්රති පරපෝෂිත ගුණය නිසා (anti-parasite) පණු ආසාධන වලටත්, මැලේරියා රෝගයටත් ප්රතිකාරයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. සමේ රෝග වලක්වා, සමේ තෙතමනය රැක ගැනීමටත්, දුර්වර්ණ භාවය අඩු කිරීමටත් කරවිල උදව් වෙනවා. වස විෂ ශරිරගත් වූ විට ශරීරයේ පටක වලින් විස ඉවත් කිරීමේ අපුරු ප්රති ධුලක (anti-oxident) හැකියාවකුත් කරවිල තුල තිබෙනවා.

 ස්වශන පද්ධතිය හා සම්බන්ද ඇදුම, සෙම්රතිශ්යාව, කැස්ස, උණ රෝග වලින් වැලකිමටත්, වැලඳුණු පසු ඉක්මනින් සුවය ලබාදීමටත් කරවිල උදව් වෙනවා. කරවිල ඉතා හොද වේදනා නාශකයක් වන අතර එහි 'ලියුකේමියා' රෝගය සහ වෙනත් පිළිකා රෝග සුව කිරීමේ විශ්ව කර්ම හැකියාවක් ඇති බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.



  මල බද්ධයට කදිම පිලියමක් වන කරවිල ආහාරයට ගැනීමෙන් ගුදයේ ඇතිවන ලේ ගෙඩි (haemarrhoids) සුව කර ගැනීමටත් පුළුවන්. රුධිර පීඩනය අඩු කිරීමට මහඟු හැකියාවක් ඇති කරවිල හේතුවෙන් හදවත් රෝග වලක්වා ගන්නටත් උපකාරී වෙනවා.



 මේසා ඖෂධිය ගුණ ඇති කරවිල අත්තම්මා මිහිරිව පිළියෙළ කර කුඩා අපටත් කැමැත්ත ඇතිවන ලෙස පිළිගැන්වීම එක්තරා විධියක හාස් කමක් ලෙසයි මා දකින්නේ. ගොරකා කැබලි දෙක තුනක්, දියලුණු, ගම්මිරිස් ඇට කීපයක් එක්කර පොල් වතුරින් හිදෙන තුරු මද ගින්නේ තම්බා ගන්නා කරවිල පසුව රතුළුණු , උම්බලකඩ, උකු කිරි දමාතෙම්පරාදුවට හින්දා සාදා ගත් විට දැනුනු රසය අද නම් හීනෙන් දිව ගෑ සුවඳක් වාගෙයි.
 

කරවිල තෙලේ බැද රතුළුණු දෙහි දමා සාදා ගන්න සම්බෝලයත් මිට නොදෙවෙනි නැහැ. හීනියට කපා ලුණු වතුරේ පැය කීපයක් පොඟවා මිරිකා දෙහි දමා අමුවට සාදා ගන්නා කරවිල සම්බෝලයට එදා නම් මගේ එතරම් කැමැත්තක් නොතිබුනත් අද තිබුනා නම් කොතරම් අපුරුදැයි සිතෙන අවස්ථානම් එමටයි.




ගමේ පන්සලේ දානයටත්, හේනේ කමතේ දිවා අහාරයටත් එදා නිරතුරුවම සැකසුනු කරවිල ව්යංජනය රජ බෝජුනේත් නොවැරදුණු රස බොජුනක්. රොබට් නොක්ස්ගේ (Robert Knox) ‘An Historical Relation of the Island Ceylon’’ග්රන්ථයට අනුව කරවිල සිංහලයේ අවසන් රජුවන ශ්රී වික්රම රාජසිංහ රජතුමාගේ ප්රියතම ව්යංජනයයි.


 එදා රජ ගෙදරට සුදුසු වූ, අද අපේ මවුවරුන්ට අමතක වූ කරවිල ව්යංජනය අද සිට හෝ ඔබේ බත් පතටත් එක්කර නිරෝගී සුව විදින්නට ඔබේ දෙනෙත විවර වේවායි පතමින් අදට සමු ගනිමි. මෙබඳුම වූ ගුණ ඇති අත්තම්මාගේ අත් බෙහෙතකින් නැවත හමු වන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!


රේණුකා  විමලරත්න : ලන්ඩනයේ සිට
 චායාරූප අන්තර්ජාලයෙන් ( සියලුම ගෞරව නම නොදත් ශිල්පීන්ට හිමිවේ)










3 comments:

  1. තිත්ත කරවිල කපා මැටි පොලවට දැමු විට තිත්ත අඩුවේනු ඇත. පුරාන අදහසක්.

    ReplyDelete
    Replies
    1. දැනගත් එක හොඳයි ..මැටි පොලවවල් දැන් අඩු එකයි ප්‍රශ්නේ

      Delete
  2. ස්තුතියි ඔබට

    ReplyDelete